මෙම වසරේ ජනවාරි සිට මැයි මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1843.3 ක මුදලක් උපාය තිබෙන බවත් එය පසුගිය වසරේ ජනවාරි සහ මැයි මාසය සමඟ සසඳන විට සියයට 16.5 ක පහත වැටීමක් බව මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දී තිබේ.
පසුගිය වසරේ ජනවාරි මස සිට මැයි මස දක්වා ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2206.6 ක් උපයා තිබෙන බව එම දත්ත වාර්තා වල සඳහන් වේ. ගෝලීය ආර්ථිකය පසුබෑමට ලක්වීම හේතුවෙන් මෙම වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ඉපැයීම් සියයට 14.2 කින් පහත වැටී ඇති බවද එම දත්ත වාර්තාව පෙන්වා දී තිබේ.
පසුගිය වසරේ පළමු මාස 5 ට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 5 තුළ රෙදිපිළි අපනයන ආදායමද සියයට 3.1 කින් පහත වැටී ඇති බවත් අනෙකුත් නිමකළ රෙදිපිළි ද්‍රව්‍ය සියයට 19 කින් පහත වැටී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ. (ලංකාදීප)