කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ එකම බිම් මෙහෙයුම් සේවා සපයන්නා වන ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් තොටුපළ සහ බිම් මෙහෙයුම් අංශය (Airport and Ground Services) මඟින්, එම ගුවන් තොටුපළ භාවිතා කරන වෙනත් ගුවන් සේවාවන්හි මගීන් වෙනුවෙන් Self-check-in සේවාවන් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. සංචාරකයන් බහුලව පැමිණෙන ශීත සෘතුව ඉලක්ක කරගෙන මෙම හඳුන්වා දීම සිදු කර ඇති අතර, මෙම කාලසීමාව තුළ දෙසැම්බර් මාසයේදී පමණක් සංචාරකයන් 300,000 කට අධික පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ තොරතුරු තාක්ෂණ අංශය මඟින් ක්‍රියාවට නංවන ලද මෙම වැඩසටහන යටතේ පසුගිය මාසය තුළ කටුනායක ගුවන් තොටුපළේ පිටත් වීමේ පර්යන්තය තුළ නව Self-check-in යන්ත්‍ර 20 ක් ස්ථාපිත කරන ලද අතර, ඒ අනුව දැන් එම පරිශ්‍රය තුළ එබඳු යන්ත්‍ර 28 ක් ක්‍රියාත්මක වේ. මෙමඟින් ගුවන් තොටුපළේ කටයුතු වඩාත් කාර්යක්ෂම වී මගීන්ට වැඩි පහසුවක් හිමි වන අතරම, එය ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම සඳහා දරනු ලබන උත්සාහයන්ට සුවිශාල පිටිවහලක්ද වනු නිසැකය.
2023 වසරේදී මුලින්ම හඳුන්වා දෙන ලද මෙම Self-check-in යන්ත්‍ර මගීන් අතර ඉක්මනින්ම ජනප්‍රිය වූ අතර, සාම්ප්‍රදායික check-in කවුන්ටර වෙනුවට මෙම යන්ත්‍ර භාවිතා කිරීමට මගීන් වැඩි වැඩියෙන් පෙළඹෙනු දක්නට ලැබිණි. මේ වන විට කටුනායක ගුවන් තොටුපළේ සිට විදේශ රටවල් බලා ගමන් ගන්නා ශ්‍රීලංකන් ගුවන් සේවයේ මගීන් අතරින් 15% ක්ම මෙම යන්ත්‍ර භාවිතා කරති. මෙය පිටත් වීමේ පර්යන්තයේ තදබදය අවම කිරීමට සුවිශාල දායකත්වයක් ලබා දී ඇත. මෙම පහසුකම හේතුවෙන් මගීන්ට පෝලිම්වල රැඳී සිටීමෙන් තොරව සෘජුවම Self-check-in යන්ත්‍ර වෙත ගොස් සරල පියවර කිහිපයක් ඔස්සේ ආසන තෝරාගැනීම, ගුවන් යානයට ගොඩවීමේ අවසර පත්‍ර මුද්‍රණය කිරීම සහ බෑග් ටැග් ලබාගැනීම ආදිය සිදු කර, තම Check-in ක්‍රියාවලිය ඉක්මනින් සම්පූර්ණ කළ හැකි වේ.


