ඉදිරි සති තුනක කාලය සඳහාද ඩෙංගු අවදානම් මට්ටමේ පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ මේ වන විට ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම යම් පාලනයක් පවතින නමුත් අගෝස්තු මැද දක්වා වූ කාලය තවදුරටත් අවදානම් මට්ටමේ පවතින බවය.
දිස්ත්‍රික්ක 3ක හැරුණු කොට අනෙකුත් දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන් වාර්තා වීම යම් පාලනයක් පෙන්නුම් කරන බව පැවසූ අමාත්‍යවරයා මේ පිළිබඳව අවධානය යොමු කරමින් ප්‍රදේශ සහ පරිශ්‍ර පිරිසිදු කර ගැනීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකරගත යුතු බවද පැවසීය.
ඩෙංගු මැඩපැවැත්වීම සඳහා සියලුම රාජ්‍ය ආයතන වෙත අඛණ්ඩව මෙහෙයුම් පවත්වාගෙන යාම සඳහා උපදෙස් ලබා දී ඇති බව පැවසූ අමාත්‍යවරයා මේ අනුව තවදුරටත් ඉදිරි සති තුනක කාලය සඳහා මෙම අවධානය පවතින බවද පෙන්වා දුන්නේය.
“ඩෙංගු කියන්නේ එක දවසක් ඔක්කෝම පාරට බැහැලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. මදුරු කීටයින් බෝවන තැන් තිබෙනවා මේ තිබෙන වැසි තත්ත්වය මත තැන් තැන්වල ඒ මදුරුවන් වර්ධනය වෙනවා. සාමාන්‍යයෙන් අපේ ගෙවල්වල අවධානයට ලක් නොවන තැන්වල පවා මේ මදුරු කීටයන් බෝවන අවස්ථා තිබෙනවා. ඒ නිසා අඛණ්ඩව මේ කටයුතු සිදුකළ යුතුයි. හැම රාජ්‍ය ආයතනයකටම අපි කියලා තියෙනවා අඛණ්ඩව මේ කටයුතු සිදුකරගෙන යන්න කියලා. රෝගීන් වාර්තාවීම වැඩිවෙනවා වගේම මට කියන්න පුළුවන් මේ ජනතාවගේ මැදිහත් වීම මත යම් කිසි ආකාරයකට දිස්ත්‍රික්ක තුනක ඇරුණාට පස්සේ මේ කටයුතු ට්රෙන්ට්ඩ් එක අනිත් පැත්ත හැරෙමින් පවතිනවා විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පවා. ඒ නිසා අපි ඒක ගැන වැඩිපුරම කතා කරන්න යන්නේ නෑ අවදානම තියාගන්න. තව සති තුනක් යනකන් අවදානම තිබෙනවා. ඒ දක්වා එකදිගටම මේ පිරිසිදු කිරීමේ කටයුතු කරන්න, අපේ MOH, PHI නිලධාරීන් කැඳවා ගන්න ධූමායන කටයුතු සිදුකරගන්න. තමාට තිබෙන ඉතාම කුඩා තැනක පවා මේක ඇතිවෙලා තිබෙන්නට පුළුවන්. ඒවාට තමන්ගේ අවධානය යොමු කරන්න ඒ කටයුතු අපි අඛණ්ඩව කරගෙන යමු.”


