කාන්තාවන්ගේ මෙන්ම පුරුෂයන්ගේත්, දරුවන්ගේත් වැඩකිරීමේ හැකියාව සහ ක්‍රියාශීලිත්වය බෙහෙවින් අඩුවන්නේ යකඩ ඌණතාවය හේතුවෙනි. ශරීර සෞඛ්‍ය වර්ධනයටත්, නීරක්තිය නිසා ඇතිවන අපහසුතා බොහෝය. දරුවන්ගේ කායික හා මානසිකත්වයටත්, බුද්ධි වර්ධනයටත් මෙය බෙහෙවින් බලපායි. යකඩ ඌණතාවය විවිධ සංකූලතා ඇතිවීමටත් හේතුවේ.
යකඩ ඌනතාවය හේතුවෙන් සියලු කාර්යයන්ට මහත්සේ බාධා ඇතිවේ. විශේෂයෙන් ගර්භණී මවුවරුන්ගේ යකඩ ඌනතා නීරක්තිය හේතුවෙන් මාතෘ මරණ සහ රෝගී තත්ත්වයන්ටද හේතුවේ. මෙවැනි තත්ත්වයන් නිසා කලලයේ වර්ධනය පවා බාලවීමෙන් කලලයේ විවිධ සංකූලතා ඇතිවීමෙන් ගබ්සාවලට පවා හේතුවිය හැකිය. මෙම තත්ත්වය නිසා බෝවන රෝගවලින් සිදු වන අහිතකර බලපෑම් ද වැඩිවේ. ශරීරයේ ඇට සහ මිදුලුවල පවතින ශක්තිමත්භාවය ද හීනවීමට යම් යම් බලපෑම් සිදුවේ.
මේ නිසා බෙහෙවින් බලපෑමට ලක්වන්නේ ප්‍රජනන තත්ත්වයෙන් පසුවන කාන්තාවන් ගර්භණී හෝ කිරිදෙන මවුවරුන්, ළදරුවන් හා දරුවන් සහ යෞවන වයසේ පසුවන ළමයින්ය. බොහෝ කලක සිට යකඩ බහුල ආහාර නොගෙන සිටි පුද්ගලයන්ටද අනෙකුත් අයට මෙන්ම නීරක්තිය ඇතිවේ. සිරුරට යකඩ අවශ්‍ය වන්නේ ශාරීරික හා මානසික වර්ධනය නිසි පරිදි සිදුවීමටත්, අලස බවෙන් තොරව ක්‍රියාශීලිව ගත කිරීමටය. යකඩ ඌනතාවයේ බලපෑමෙන් උපත් බර අඩු දරුවන් බිහිවීමත් එක් හේතුවකි. මතක ශක්තිය අඩුවන අතර යමක් කෙරෙහි පැවතිය යුතු අවධානයද අඩුවේ. රෝගාබාධවලට ලක්වීමද ඉක්මන් වේ. යකඩ ඌනතා, නීරක්තිය පිළිබඳව කරන ලද පර්යේෂණවලදී තහවුරු වී ඇත්තේ ලොව බහුලම පෝෂණ ඌනතාවය යකඩ ඌනතාවය බවයි.
මේ හේතුන් නිසා යකඩ බහුල පෝෂණ ආහාරයන් ගැනීමට ක්‍රියාකිරීම වැඩිහිටියන් සතු වගකීමක් වී ඇත. දරුවන් බෙහෙවින් යකඩ ඌනතාවයට පත්වන්නේත් වෙනත් රෝගාබාධ වලට ලක්වන්නේත් දෙමාපිය වැඩිහිටියන්ගේ නොසැලිකිලිමත්භාවය හේතුවෙනි. මවුපියෝ දරුවන්ගේ අකීකරුභාවය නැතහොත් මුරණ්ඩුකම නිසා ඔවුන් ඉල්ලන ඉල්ලන කෑම ජාති ලබාදීමට පුරුදුව සිටිති. මේ නිසා ලුණු, පිටි මෙන්ම තෙල් බැදුම් කෑම වර්ග මෙන්ම ක්ෂණික කෑම ද ශීතකළ පාන වර්ග ලබා දෙයි. මෙය වැඩෙන දරුවන්ගේ සෞඛ්‍යට ද බෙහෙවින් බලපාන තත්ත්වයකි. ශරීර වර්ධනයට බාධාවන කිසිදු පෝෂණ ගුණයක් නොමැති ආහාර වර්ග ලබාදීම නිසා දරුවන්ට වන හානිය භයානකය. සමහර දරුවෝ තෙල්බැදුම් හා තෙල් මිශ්‍ර කෑම ආහාරයට ගැනීමෙන් පසු අයිස්ක්‍රීම්, අයිස්චොක් වැනි ශීත කළ රසවත් අධික පැණිරස කෑම ගැනීමටද පුරුදුව සිටිති. විශේෂයෙන් අධික සේ යෙදූ ලුණු, විනාකිරි මිශ්‍ර අච්චාරු වර්ගද කෑමටද පුරුදුව ඇත. එය දරුවන්ගේ සෞඛ්‍යයට නීරෝගිභාවයට බාධා වන්නකි. රෝගවලට මඟ සැදීමකි.
යකඩ පෝෂණ බහුල ආහාර
දරුවන්ගේ වර්ධනය ගැන බෙහෙවින් සැලකිලිමත් විය යුතුය. දරුවන්ට ගුණාත්මක ආහාර වේලක් ලබාදීමට උපරිමයෙන්ම කටයුතු කිරීම වැඩිහිටියන්ගේ වගකීමකි. යකඩ පෝෂක බහුල ආහාර අතර මස් වර්ගද මාළු, කරවල, පීකුදු ද නිර්මාංශ ආහාර අතරින් තද කොළ පැහැති පලා වර්ගද එළවළු ද භෝගද සෝයා, මුංඇට, කඩල, කවුපි, උළුඳු, පරිප්පු මෙන්ම ඒවා මිශ්‍රව යොදන වෙනත් කෑම වර්ගද යකඩ බහුලව පවතී. විශේෂයෙන් හාල්මැස්සන්, මාළු හෝ කරවල ද බලයා, කෙළවල්ලා යන මාළු වර්ගද වඩාත්ම ගුණදායකය. විටමින් සී අඩංගු ආහාරයන්ද ඉතාම යෝග්‍යය. ශරීරයට අවශ්‍ය යකඩ ප්‍රමාණය නිසි අයුරින් ලබාගැනීම සඳහා විටමින් සී බහුල එළවළු හා පලතුරු වැඩි වැඩියෙන් ආහාරයට ගත යුතුය. යකඩ ඌනතාවය නිසා ඇතිවන නීරක්තිය අප රටේ ප්‍රබල සෞඛ්‍යය ප්‍රශ්නයක් බවට පත්ව ඇත. නමුත් වඩාත් සැලකිලිමත් වන්නේ නම් එය වළක්වා ගත හැකිය.
මන්දපෝෂණය
මන්දපෝෂණය නිසා ශාරීරික හා මානසික වර්ධනයේ බාලවීමක් සිදුවේ. මෙය ශාරීරික වශයෙන් ගත් කල එය මහත් ප්‍රශ්නයකි. මේ නිසා යකඩ ඌනතාවය ගැන හැම දෙනාගේම අවධානය යොමු කළ යුතුව ඇත. ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග අතපසු නොකොට ඉටු කළ යුතුය. දරුවකු වැඩෙන අවස්ථාවේදී, යකඩවල අවශ්‍යතාවය බෙහෙවින් තිබිය යුතුය. යොවුන්විය සමඟ වැඩිවියට පත් ගැහැනු දරුවන්ගේ වැඩීමට යකඩ අවශ්‍යතා අවශ්‍යයෙන්ම තිබිය යුතුය. මාසික ශුද්ධිය, ඇතිවීමේදී ශරීරගත යකඩ ප්‍රමාණයක් අඩුවේ. එය සපුරාලීම සඳහා එයට සරිලන පරිදි ආහාරවර්ග ලබා දිය යුතුය. එසේ ශරීරයට නිසි ලෙස ආහාර නොලැබුණහොත් යකඩ ඌනතාවයෙන් පීඩා විඳිය හැකිය.
මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති අංශයට පිවිසෙන්න.