ලෝකයේ කර්මාන්තකරුවන් ශ්‍රේණිගත කිරීමේදී, එහි පළමු 100 දෙනා අතරට ඇතුළත් වූ එකම ශ්‍රී ලාංකීය සමාගම වන, එයිට්කන් ස්පෙන්ස් සමාගම 2021/2022 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් බිලියන 14.2 ක ලාභයක් වාර්තා කර තිබේ. එය එයිට්කන් ස්පෙන්ස් සමාගම විසින් මෙතෙක් වාර්තා කරන ලද ඉහළම ලාභය ලෙසින්, සමාගමේ වසර 150 ක සාඩම්බර ඉතිහාසයට එක්වෙන බව එම සමාගම කියයි.
අන්තර්ජාතික වශයෙන් විශාල පිළිගැනීමක් ඇති, එමෙන්ම මූල්‍ය වශයෙන් ඉතාමත් ස්ථාවර තත්ත්වයක පිහිටි විවිධාංගීකරණය වූ සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගම, 2021/2022 මූල්‍ය වර්ෂය සඳහා, බදු ගෙවීමට පෙර රු. බිලියන 14.2 ක ලාභයක් පෙන්වා තිබේ. ඒ මේ වසරේ මාර්තු මස 31 වැනිදායින් අවසන් වූ මාස 12 ක කාලය වෙනුවෙනි.
පසුගිය වසරේ මෙම කාලය වෙනුවෙන් විඳිමට සිදුවූ පාඩුව රුපියල් බිලියන 2.8 ක් විය. එම කාලය හා සංසන්දනය කිරීමේදී මෙම අතිවිශිෂ්ට කාර්ය සාධනය මෙහෙයවනු ලැබුවේ රටවල් අටක් පුරා පැතිරී පවතින මෙහෙයුම් 16 ක කාර්යශූරත්වය විසිනි.
ගෙවී ගිය මූල්‍ය වර්ෂය තුළදී, අන්තර්ජාතික වශයෙන් කීර්තිනාමයක් හිමි ප්රකාශනයක් වන ‘සස්ටේනබිලිටි’ සඟරාව විසින් කරන ලද ස්වාධීන තක්සේරුවකදී, එයිට්කන් ස්පෙන්ස් සමාගම් සමූහය, වසර 2022 තිරසාරත්වය සම්බන්ධයෙන් වන ලෝකයේ හොඳම සමාගම් 100 අතරට එක්විය. ලෝකයේ කර්මාන්තකරුවන් ශ්‍රේණිගත කිරීමේදී එහි පළමු 100 දෙනා අතරට ඇතුළත් වූ එකම ශ්‍රී ලාංකීය නාමය එයිට්කන් ස්පෙන්ස් සමාගම් සමූහයයි.
-සටහන- චමින්ද මුණසිංහ LD