ඇෆ්ගනිස්තානය සමග ජුනි දෙවැනිදා ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එම ශ්‍රී ලංකා සංචිතයට වසර 2 කට අධික කාලයකින් පසුව දිමුත් කරුණාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වනවා. සංචිතය සදහා දුෂ්මන්ත චමීර යළි කැඳවා ඇති අතර, ඇන්ජෙලෝ මැතිව්ස් ද සිය ස්ථානය රැක ගැනීමට සමත්ව තිබෙනවා. එමෙන්ම මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති 29 හැවිරිදි දුෂාන් හේමන්ත පා දඟ පන්දු යවන්නෙකු ලෙස සංචිතයට ඇතුළත් කර ඇති අතර, IPL තරගාවලියේ දී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද සංචිතයට නම් කර තිබෙනවා.
නම් කරන ලද මෙම කණ්ඩායම ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය සඳහා යවා ඇති අතර දෙරට අතර තරගාවලිය ජුනි මස 02 වැනිදා හම්බන්තොටදී ආරම්භ වේ. මෙම තරග 3 ම දිවා තරග ලෙසින් පැවැත්වේ.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.