බ්‍රයන් ලාරා තබා තිබූ ‘පිතිකරුවකු ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු වාර්තාව’ ආසන්නයට පැමිණීමට දකුණු අප්‍රිකානු පිතිකරු වියාන් මුල්ඩර් අද (07) සමත් වුණි.
නමුත් බොහෝදෙනා විමතියට පත් කරවමින් සිය ලකුණු 367 දී ඉනිම අත්හිටුවීමට ඔහු තීරණය කිරීම නිසා ලාරාගේ වාර්තාව තවදුරටත් සුරැකිව පවතී.
සිම්බාබ්වේ හි බුලවායෝ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දකුණු අප්‍රිකා – සිම්බාබ්වේ දෙවන ටෙස්ට් තරගය ඊයේ ආරම්භ වූ අතර පළමු දිනය නිමා වන විට දකුණු අප්‍රිකාව කඩුලු 4ක් දැවී ලකුණු 465ක් ලබා සිටියේය.
දකුණු අප්‍රිකා ඉනිම ඔසවා තැබූ නායක වියාන් මුල්ඩර් ඊයේ ලකුණු 247ක් ලබා සිටියදී ටනාකා චිවන්ගා යැවූ පන්දුවක් හමුවේ දැවී ගියද පසුව එය නිපන්දුවක් ලෙස සංඤා කිරීමත් සමග ඔහුට තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාව උදා වුණි.
ඒ අවසරයෙන් ඔහු අද දිනයේ දිවා භෝජනයට තරගය නතරකරන විට නොදැවී ලකුණු 367 ක් රැස් කරගෙන සිටියේය.
ඔහු සිටියේ බ්‍රයන් ලාරාගේ ලෝක වාර්තාවට ලකුණු 33 ක් පිටුපසින්ය.
කෙසේ වෙතත් සියලු දෙනා විමතියට පත්කරවමින් නායක විආන් මෝල්ඩර් එම අවස්ථාවේ දකුණු අප්‍රිකා පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.
ඒ වන විට දකුණු අප්‍රිකාව කඩුලු 5ක් දැවී රැස්කර සිටි ලකුණු සංඛ්‍යාව 626කි.
මේ අතර මීට පෙර හිටපු ක්‍රිකට් ක්‍රීඩක මැතිව් හේඩන් සහ මහේල ජයවර්ධන ලාරාගේ වාර්තාවට ආසන්නයට පැමිණියද, ලකුණු 400යේ සීමාව පසු කිරීමට නොහැකි විය.
ශ්‍රී ලංකාවේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන 2006 දී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 374ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තාවක් තබා ඇත.
එමෙන්ම හිටපු නායකයින් වන සනත් ජයසූරිය සහ කුමාර් සංගක්කාර ද ටෙස්ට් ඉනිමකදී ලකුණු 300 ඉක්මවා යාමට සමත් වී ඇත.