Deep Jungle Music and Cultural Festival music ප‍්‍රසංගය 2031/2007 දරණ පොලිස්පති චක‍්‍රලේඛයට අනුකූලව පමණක් පැවැත්විය යුතු බවත් එකී චක‍්‍රලේඛය අනුව පවත්වන්නේද යන්න අධීක්ෂණය කිරීමට 20 දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් සහ 10 දෙනෙකුගෙන් යුත් වනජීවී නිලධාරීන් කණ්ඩායමක් යොදවන ලෙසත් හිඟුරක්ගොඩ අධිකරණයේ මහේස්ත්‍රාත් උදුම්බරා දසනායක මහත්මිය ඊයේ (17) නියෝග කළේය.
හබරණ අලි කොරිඩෝවට යාබදව පෙබරවාරි 17 සිට 20 දක්වා පැවැත්වෙන ඩීප් ජන්ගල් මියුසික් ඇන්ඩ් කල්චරල් ෆෙස්ටිවල් යන සංගීත ප‍්‍රසංගයට එරෙහිව පරිසරවේදීන් කිහිප දෙනෙකු විසින් ඊයේ (17) දින හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් උසාවියේ ගොනුකළ නඩුකරයේ දී හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මෙසේ නියෝග කළේය.පොලිස් චක්‍රලේඛයට අනුව පොලිස් ආඥා පනතේ 80(1) වගන්තිය යටතේ රාත්‍රී 10:00 සිට පසුදින උදෑසන 6.00 දක්වා කාලයට වලංගු වන සේ ශබ්ද විකාශන යන්ත්‍ර හෝ ඒ ආකාරයේ වෙනත් උපකරණ භාවිතා නොකළ යුතු බවත් එම නියෝගයේ සඳහන් වේ.
ඒ සමගම ඉහත කී ඩීප් ජන්ගල් මියුසික් ඇන්ඩ් කල්චරල් ෆෙස්ටිවල් සංගීත ප‍්‍රසංගය එම ප‍්‍රසංගය පවත්නා පරිශ‍්‍රයේ මායිම්වලින් ඔබ්බට නෑසෙන පරිදි කටයුතූ කිරීම සහ ශබ්ද විකාශන සහ ශබ්ද වර්ධක භාවිතා කිරීමකින් තොරව පවත්වන ලෙසට කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කරන ලදී.
නීතිඥ එස්. එච්. එම්. හසාන් හමීඩ් සමඟ නීතිඥ නිශානි උදේශිකා මෙනෙවිය පැමිණිලිකරුවෝ වෙනුවෙන් පෙනී සිටියහ.
රෙයාර් සංවිධානය, වනසත්ව සහ ස්වභාරක්ෂක සංගමය (ඩබ්ලිව්.එන්.පී.එස්) හා පරිසර යුක්ති කේන්ද්‍රය (සී.ඊ.ජේ ) මෙම නඩුව ගොනු කිරීමට දායක වී ඇත. (ලංකාදීප)