“ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ට අපි ගරු කරනවා සේම අපේ රටේ නීතියට ද ගරු කරන ලෙස” ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් කවාජා මහතා ඇතුළු අයිසීසී නියෝජිත කණ්ඩායමෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා ඊයේ (11 වැනිදා) ඉල්ලීමක් කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත්වීම් සිදු වී ඇත්දැයි සොයා බැලීම පිණිස මෙරටට පැමිණි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් කවාජා ප්රමුඛ නියෝජිත පිරිස ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා ඊයේ සවස ක්‍රීඩා අමාත්‍යාංශයේ දී හමු වූ අවස්ථාවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත.
මෙම නියෝජිත පිරිස පෙරේදා හවස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ද හමු වූ අතර ඔවුන් සමඟද සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ඊයේ ක්‍රීඩා ඇමැතිවරයා මුණගැසීමට කටයුතු යොදා තිබුණි. ඉදිරියට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ නිවැරදි දේ කිරීමට තමාගේ සහයෝගය ලබා දෙන බව ද ඇමැතිවරයා එම නියෝජිත පිරිස හමුවේ ප්‍රකාශ කර ඇත.
ලෝකයේ ප්‍රමුඛස්ථානයේ සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවත ලෝක කුසලානය සඳහා තරග කිරීමට තේරීම් තරගවලට මුහුණ දීම දක්වා කඩා වැටී ඇති ආකාරය ද එහිදී අදාළ නියෝජිත පිරිස හමුවේ පෙන්වා දී ඇති ඇමැතිවරයා ඒ තත්ත්වයෙන් නැවත නැඟීසිටීමට කටයුතු කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් හා සම්බන්ධ සියලු දෙනාගේ වගකීමක් බව ද එහිදී පවසා තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් පාර්ලිමේන්තුවට හා ජනතාවට විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන් වගකීමට බැඳී සිටින බවද සිහිපත් කර ඇති අමාත්‍යවරයා ඉදිරියේදී සියලු පාර්ශ්වයන් සමඟින් නිවැරදි සැළසුමක් සහිතව වැඩ කටුයුතු කළ යුතු ආකාරය ද එහිදී පැහැදිළි කර දී ඇත. මෙම සාකච්ඡාව සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උපායමාර්ගික ජ්‍යෙෂ්ඨ කළමනාකරු අම්මාර් ෂෙයික්, ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් ඒ. මුතුමාල, ජනාධිපති නීතිඥ ඩිනාල් පිලිප්, නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද, හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුනි යන මහත්වරුද එක්ව සිටියහ. (සෘජු උපුටාගැනීම: දිවයින)
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.