මෙම වසරේ පළමු මාස පහ තුළ මෙරට සංචාරක කර්මාන්තයෙන් ලැබුණු ආදායම පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකු වාර්තාවකට අනුව, 2026 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ සංචාරක ඉපැයීම් ලෙස මෙරටට ලැබුණු ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,360ක් ලෙස වාර්තා වී තිබේ.
කෙසේ වෙතත්, 2025 වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 1,543.1ක් ලෙස සටහන් වී තිබූ අතර, ඒ අනුව මෙම වසරේ එම කාලසීමාවේදී සංචාරක ආදායම 11.9%කින් පහළ ගොස් ඇත.
එමෙන්ම, මෙම වසරේ මැයි මාසයේදී සංචාරක ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 155.7ක් වන අතර, පසුගිය වසරේ මැයි මාසයේදී එය ඩොලර් මිලියන 164.1ක් ලෙස වාර්තා වී තිබුණි.
මේ අතර, 2026 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ විදේශ ප්‍රේෂණ ලෙස මෙරටට ලැබුණු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 3,909.7ක් බවද මහ බැංකුව සඳහන් කරයි.
පසුගිය වසරේ එම කාලය තුළ විදේශ ප්‍රේෂණ ආදායම ඩොලර් මිලියන 3,102.2ක් වූ අතර, ඒ අනුව මෙම වසරේ විදේශ ප්‍රේෂණවල වර්ධනයක් පෙන්නුම් කර ඇත.


