ආහාරවල සුවඳ, රසය, ගුණය ඇතිකර ගැනීමට යොදා ගන්නා රස කාරක වලට කවදත් වැදගත් තැනක් හිමි වේ. වටිනා ඖෂධයක් වන රම්පෙ ව්‍යාංජනයට දමන නිවැරැදි ක්‍රමය කෙසේ දැයි අපි මුලින්ම බලමු. මේ දැනුවත් බව ඔබේ ඔසුකුටියෙන් පවුලේ පෝෂණය සඳහා සැකසෙන ආහාරවල ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට හේතු වේවි.
රම්පෙ

ඉංග්‍රීසි භාෂාවෙන් Pandan Leaf ලෙස හැඳින්වෙයි. සුවඳ කාරකයක් හා රස කාරකයක් ලෙස භාවිත කරයි. කුසගිනි වඩවයි.
එසේ වුවත් පසුගිය කාලයේ රම්පෙ පිළිබඳ විවිධ වූ කටකතා පැතිරෙන්නට විය. එයින් කියැවුණේ රම්පෙ ආහාරයට ගැනීමට සුදුසු නොවන බවයි. මේ කතා සත්‍යය නොවේ. ඒ කටකතා බහුජාතික සමාගම් විසින් අපේ ජනතාව අතරට ගෙන ආ මතයකි. ඒවාට නොරැවටී අපේ දේ රැක ගැනීම හා ඒවායින් නිසි ප්‍රයෝජන ගැනීමට උනන්දු විය යුතුයි.
රම්පෙ වටිනා ඖෂධයකි. නමුත් රම්පෙ කැබැල්ල ඉතා සිහින්ව කැපීම නොකළ යුතුය. ව්‍යාංජනයකට දැමීමේ දී රම්පෙ කැබැල්ල තරමක ප්‍රමාණයට කපා දැමිය යුතුයි. නැතිනම් ආහාර ගැනීමේ දී රම්පෙ කැබැලි ඉවත් කිරීමට නොහැකි වේ.
කරපිංචා

Curry Leaf ලෙස ඉංග්‍රීසියෙන් හැඳින් වේ. රස කාරකයක් මෙන්ම සුවඳ කාරකයකි. අජීර්ණය, කෑම අරුචිය, බඩගින්න නැතිකම, බඩේ කැක්කුම, බඩ පුරවා දැමීම වැනි අවස්ථා වල දී සහනයක් ලබා ගත හැකිය. සෑම ව්‍යාංජනයකට ම කරපිංචා එකතු කරයි.
එමෙන්ම විස නසන ගුණයක් ඇති නිසා හෙළ වෙදකමේ දී ද යොදා ගනී. කොලෙස්ටරෝල් ප්‍රමාණය පහත හෙලීමට ද උපකාරී වේ.
අප බොහෝ විට පුරුදු වී සිටින්නේ ව්‍යාංජනයට කරපිංචා ඉත්ත සූරා කොළ ටික දැමීමටයි. එසේත් නැතිනම් අතින් කරපිංචා කොළ ටිකක් දෙකට කඩා ව්‍යාංජනයට දැමීමටයි. නමුත් එහෙම දැමීමේදී කරපිංචාවල ඇති ඖෂධීය ගුණය අපට ලබා ගැනීමට නොහැකි වේ. ආහාර ගැනීමේ දී අපි කරපිංචා කොළ පිඟානේ පසෙකින් තැබීමට අප පුරුදු වී සිටියි. එහි ඇති ඖෂධීය ගුණය ලබා ගැනීමට කරපිංචා කොළ සිහින්ව ලියා ව්‍යාංජනයට එකතු කළ යුතුය.
වියළි මිරිස්

ඉංග්‍රීසියෙන් Dry Chilies ලෙස හැඳින් වේ. මෙය ආහාරවලට රතු වර්ණකය සහ සැර රසයක් එකතු කරයි.
වියළි මිරිස් නිවෙසට ගෙන ඒමෙන් පසුව එහි නැටි කඩා සෝදා හොඳින් වියළා ගන්න. පසුව මෙම මිරිස් වංගෙඩියේ කොටා හෝ ග්‍රයින්ඩරයෙන් කුඩු කරගත හැකියි. මෙහිදී මිරිස් කුඩු මෙන්ම මිරිස් කෑලි නිවෙසේ දී ම සකස් කරගැනීමට හැකියාව ලැබේ. මෙලෙසින් පිරිසුදු බවින් යුතු මිරිස් කැබැලි සහ මිරිස් කුඩු භාවිතයට ගත හැකියි.
බැදුම් වර්ග, තෙල් දැමීම්, පොල් සම්බෝල ආදිය සැකසීමේ දී යොදා ගනී. කිරි එළවළු සඳහා යොදා ගන්නේ නැත.
අමු මිරිස්

Green Chillie ලෙස ඉංග්‍රීසියෙන් හඳුන්වයි. සැර රසයක් ව්‍යාංජනයට ලබා දීමට සමත් ය. කොළ පැහැති වර්ණ කාරකයක් ද වේ.
අප සකසන බොහෝ ආහාරවලට අමුමිරිස් යොදා ගැනේ. බොහෝ දෙනා පුරුදු වී සිටින්නේ හැම ආහාරයකට ම එකම ලෙසින් අමු මිරිස් කරල් කපා එකතු කිරීමටයි. නමුත් ආහාර වර්ගයෙන් වර්ගයට අමු මිරිස් කපන ආකාරය වෙනස් විය යුතුයි.
සාමාන්‍යයෙන් ව්‍යාංජන සඳහා අමු මිරිස් සිහින්ව දිගට කැපිය යුතු වන්නේ ඒවා හොඳින් තැම්බී එළවළු සමඟ මිශ්‍ර වීම සඳහා ය. සම්බෝල වර්ග සඳහා අමු මිරිස් සිහින්ව ලියා එකතු කළ යුතුයි. ඩෙවල්, අච්චාරු, පැහි, මෝජු ආදී කෑම වර්ග සැකසීමේ දී අමුමිරිස් කරල් දෙකට පලා හෝ නටුව අසලින් වෙන් නොවන සේ හතරට පලා හෝ ගත යුතුයි.
බිලිං

ඉංග්‍රීසියෙන් Belimbi ලෙස හඳුන්වයි. අම්ලකාරකයක් ලෙස යොදා ගනී. ආහාර රුචිය ඇති කරයි.
වාරයකට පමණක් හැදෙන බිලිං ලුණු දමා කල් තබා ගැනීමට අපේ කාන්තාවන් පුරුදු වී සිටියත් දැන් දැන් ඒ පුරුදු නැති වී ගොස් ඇති බවක් පෙනේ. ඇඹුලක් මිශ්‍ර කොට සැකසිය යුතු ආහාරයකට වෙනත් ඇඹුල් වර්ගයකට ආදේශකයක් ලෙසින් ද බිලිං යොදා ගත හැකිය.
එමෙන්ම ලුණු දමා වියළා ගත් බිලිං ව්‍යාංජනයක් ලෙසින් ද රසවත්ව සකසා ගත හැකියි. (Tharunie)
එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.
Buzzer.lk සහ Buzzer Blog සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම ආකාරයේ විවිධාකාරවූ ආකර්ෂණීය තොරතුරු දැන ගන්න.