ඉඩම් ප්රතිසංස්කරණ කොමිසම් සභාව සිය ප්රධාන කාර්යාලය පවත්වාගෙන යන පෞද්ගලික සමාගමකට අයත් ගොඩනැඟිල්ලක් සඳහා බදු කුලී වශයෙන් රජයේ තක්සේරු වටිනාකමට වඩා රුපියල් දෙකෝටි අනූනව ලක්ෂ තිස්හත්දහස් අටසිය හැට හතක (29,937,867) මුදලක් වැඩිපුර ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
කොමිසම් සභාවේ ප්රධාන කාර්යාලය පවත්වාගෙන යෑම සඳහා 2016 දෙසැම්බර් මස 01දා සිට 2017 නොවැම්බර් 30 දක්වා වසරක කාලයකට බත්තරමුල්ල ප්රදේශයේ පිහිටි පෞද්ගලික සමාගමකට අයත් ගොඩනැඟිල්ලක් කුලී පදනම මත ලබාගෙන තිබුණි. එම ගිවිසුම දීර්ඝ කිරීමකින් තොරව කොමිසම් සභාවේ ප්රධාන කාර්යාලය එහි පවත්වාගෙන යමින් රජයේ තක්සේරු වටිනාකමට වඩා රුපියල් 29,937,867ක් ගෙවා ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත. රාජ්ය වියදම් කාර්යක්ෂමව, පලදායීව හා සකසුරුවම් ලෙස සිදුකළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. (දිවයින)