චිකන් එසේත් නැත්නම් කුකුල් මස් කියන්නේ කෑම වේල රසවත් කරන්න නැතුවම බැරි අංගයක්. අපේ ගෘහණියන් බොහෝ විට චිකන් සකසන්නේ ව්‍යාංජනයක් ලෙසයි. හැබැයි කටට රසට උයන්න පිහන්න කැමති ගෘහණියන් නම් චිකන් වලින් විවිධ කෑම වර්ග සකසා කෑම මේසය සරසන්නට දක්වන්නේ දැඩි කැමැත්තක්. මෙසේ චිකන් යොදාගනිමින් කෑමවේල රසවත් කරන්න කැමති ගෘහණියන්ට රසවත් බියර් බේක්ඩ් චිකන් නිවසේදීම පිළියෙල කරගන්නා ආකාරය පිළිබඳව දැනුවත් කරන්නටයි මේ සූදානම. බලන්න එය කෙතරම් රසවත් ආහාරයක් ද කියලා.
පිළියෙල කර ගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය;
- chicken leg හයක්
- සුදුලූනු දෙකට පලා බික් හයක්
- සිහින්ව තීරු කපා ගත් කැමති බේකන් වර්ගයක් ග්‍රෑම් 100ක්
- අඟල් එකේ කැබලි වලට කපාගත් කැරට් ගෙඩි දෙකක්
- බේ කොළ හතරක්
- රෝස්මරි හර්බ්ස් තේ හැඳි එකක්
- තයිම් හර්බ්ස් තේ හැඳි එකක්
- ලුණු රස අනුව
- ගම්මිරිස් කුඩු රස අනුව
- බියර් කෝප්ප එකහමාරක්
- මිරිස් කුඩු තේ හැඳි දෙකක්
පිළියෙල කරගන්නා ආකාරය
මුලින්ම කුකුල් මස් සෝදා පිරිසිදු කර එයට ලුණු, ගම්මිරිස් කුඩු සහ මිරිස් කුඩු එකතු කර කලවම් කර මිනිත්තු දෙකක් පමණ පදම් වීමට තබන්න. ඉන්පසු බේකින්ග් තැටියක් ගෙන එයට මාගරින් ස්වල්පයක් තවරා එහි එක උඩ එක නොසිටින අයුරින් කුකුල් මස් ටික අසුරා ගන්න. දැන් එහි තැනින් තැනට සුදු ළූණු, කැරට්, බේකන් සහ බේ කොළ දමා ගෙන අනික් හර්බ්ස් වර්ග උඩින් ඉස අනතුරුව බියර් ද එයට දමා මිනිත්තු පහළොවක් තිබෙන්නට හැර සෙල්සියස් අංශක දෙසීයක උෂ්ණත්වයට උණුසුම් කරගත් උදුනක මිනිත්තු පහළොවක් පමණ රෝස්ට් කරගන්න. ඉන්පසු උඳුනෙන් ඉවතට ගන්න. මස් කැබලි අනෙක් පසට හරවා තවත් මිනිත්තු පහළොවක් පමණ උදුනේ දමා හොදින් රෝස්ට් කරගන්න. එම ආකාරයටම නැවත අනෙක් පසට හරවා රෝස්ට් කර උණුවෙන් සංග්‍රහ කරන්න.
දැන් ඔබට නිවසේදීම පිළියෙල කරගත් රසවත් මෙන්ම ඉමිහිරි සුවඳකින් යුතු බියර් බේක්ඩ් චිකන් රසවිඳීමට පුළුවනි. උත්සව සමයේ දී ඔබගේ නිවසට පැමිණෙන අමුත්තන්ට උණුසුම්ව සංග්‍රහ කිරීමටත් මේවා කදිමයි. චිකන් යොදා ගනිමින් පිළියෙළ කළ ආහාරයක් නිසාවෙන් ඔබගේ දරුවන් ද ඉතාමත් ආසාවෙන් ආහාරයට ගනීවි. සාම්ප්‍රදායික chicken කරියකට වඩා මෙම රසවත් බියර් බේක්ඩ් චිකන් කෙතරම් අපූරුද කියලා බලන්නට නම් ඔබත් අදම මේවා පිළියෙල කරන්නට අමතක නොකරන්න. එය ඔබට මෙන්ම ඔබගේ පවුලේ සාමාජිකයන්ට ද ඉතාමත් රසවත් අත්දැකීමක් වේවි. (aayubo)
එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්නත් අමතක කරන්න එපා.
Buzzer.lk සහ Buzzer Food සමඟ සම්බන්ධ වීමෙන් විවිධ ආහාර සහ ආහාර වට්ටෝරු ගැන වැඩි විස්තර දැන ගන්න.