විවිධ රසායන ද්‍රව්‍ය එකතු කර පෙට්රල්වලට ආදේශක නිෂ්පාදනය කර අලෙවි කරමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබේ.
ගල්කිස්ස කොට්ඨාසයට අනුයුක්ත පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මඩපාත ප්‍රදේශයේදී සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
45 හැවිරිදි සැකකරු මෙම පෙට්‍රල් වෙනුවට නිෂ්පාදනය කර ඇත. ඔහු ඩුබායි සිට යම් රසායනික ද්‍රව්‍යයක් ගෙනවිත් මෙරට බහුලව භාවිතා වන රසායනික ප්‍රභේදයට මිශ්‍ර කර මෙම පෙට්‍රල් ආදේශකය නිෂ්පාදනය කර ඇත.
තමා කලක් ඩුබායිහි සේවය කළ බවත් පෙට්‍රල් සඳහා ආදේශකයක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම ලැබුණේ එහිදී බවත් සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත. ඔහු මෙම නිෂ්පාදනය සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනක් ද පවත්වා ඇති බවයි පොලිසිය පැවසුවේ. මොහු මාසයක පමණ කාලයක සිට මෙම භාණ්ඩය නිෂ්පාදනය කර අලෙවි කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මෙම ඉන්ධන වැඩි වශයෙන් සපයා ඇත්තේ ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සඳහා බවද අනාවරණය විය.
මෙම දියර ලීටරයක් පාරිභෝගිකකුට රු. 1000ක් වැනි මුදලකට අලෙවි කොට තිබිණ.