මේ දිනවල ශ්‍රී ලංකා මහජනතාවට මුහුණ පෑමට සිදුව ඇති ප්‍රධානම ගැටලුවක් වන්නේ ඉන්ධන හිඟයයි. මෙයට විසඳුමක් ලෙස ලෝකයේ පළමු වතාවට සූර්ය බල ශක්තියෙන් පැදවිය හැකි ත්‍රිරෝද රථයක් නිපදවීමට උණවටුන (එස්.ඕ.එස්.)ආයතනය සමත්ව තිබේ. මෙහි සාඩම්බර නිර්මාතෘවරිය ජර්මන් ජාතික කාන්තාවකි.
අදින් වසර විසි හතකට පමණ පෙර මෙරටට පැමිණ මෙරට පරිසරයට සහ ස්වභාව සෞන්දර්යයට ඇතිවූ ආදරය නිසාම පදිංචිය සඳහා රමණීය උණවටුන තෝරාගත් ඇය උලා මැස්ච්බර්ග මහත්මියයි. ඇය නව නිර්මාණ බිහිකිරීමට තමන්ගේ දෙස් විදෙස් හිතවතුන්ගේද සහාය ඇතිව ‘සේව් අවර් ශ්‍රී ලංකා’ නමින් ආයතනයක්ද ආරම්භ කරගත්තේය. සිය නිර්මාණය සම්බන්ධව අදහස් දක්මින් ඇය මෙසේ පැවසුවාය.
“සංඛ්‍යාලේඛන අනුව දැනට ලංකාවේ ත්‍රිරෝද රථ ලක්ෂ දහතුනක් තිබෙනවා. ඒවා සූර්ය බල ශක්තියෙන් සහ තවත් ස්වාභාවික පුනර්ජනනීය බලශක්ති මගින් ධාවනයට යෙදවීම අපගේ උත්සාහයයි. එවිට ඩීසල් පෙට්‍රල් භාවිතය සියයට සියයක්ම ඉවත් වෙනවා. රජයට විදේශ විනිමය ඉතිරි වෙනවා. ත්‍රිරෝද රථ හිමිකරුවන්ට විශාල මුදලක් ඉතිරි වෙනවා. එපමණක් නොව විශාල පරිසර ආරක්ෂණයක් සිදු වෙනවා. අප මෙය ‘සෝලා මල්ලි’ යනුවෙන් හඳුන්වා තිබෙනවා. මෙහි සූර්ය බලශක්ති කට්ටල නිෂ්පාදනය ඇතුළු අනෙකුත් සියලුම නඩත්තු කටයුතු අප ආයතනය විසින්ම කරනවා”.
උලා මැස්ච්බර්ග්
වැඩිදුරටත් ඇය පවසා සිටියේ, “දැන් ඉන්ධන මිලත් සමග සාමාන්‍ය පුද්ගලයකුට මෝටර් රථයක් නොව ත්‍රිරෝද රථයක්වත් ධාවනය කිරීමට අපහසුයි. ඉන්ධන මිල වැඩි වන විට ත්‍රිරෝද රථ කුලියත් වැඩිවෙනවා. එයට හොඳ විසඳුමක් තමයි අපේ ‘සෝලා ටුක් ටුක් මල්ලි’. එයට ඉන්ධන අවශ්‍ය නැහැ”.
“මෙම සූර්ය බලයෙන් ධාවනය කළ හැකි ත්‍රිරෝද රථය ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, කර්මාන්ත ඇමැතිතුමාට සහ ත්‍රිවිධ හමුදාපතිතුමන්ලාට ඉදිරිපත් කර තිබෙනවා. අපගේ මෙම සෝලා මල්ලිට තවමත් මහ පාරේ යන්න බලයක් නැහැ. ඒනිසා සෝලා මල්ලි ජාතික වැඩසටහනට රජයේ අනුග්‍රහය ලැබෙන තුරු බලා සිටිනවා. මෙම සූර්ය බලයෙන් ධාවනය කළ හැකි ත්‍රිරෝද රථයේ පේටන්ට් බලපත්‍රය ලබාගැනීමට ඉල්ලුම් කර තිබෙනවා. නමුත් තවම එයද ලැබුණේ නැහැ. එය ඉක්මනින්ම ලැබේවි කියා හිතනවා”
එස්.ඕ.එස්. ආයතනයේ අධ්යක්ෂ සේනක සොයිසා සිරිවර්ධන මහතා ද ඇයට සහාය වී ඇත.