තමන් ආණ්ඩුවක් පිහිටුවන විට බිලියන ගණනක විදේශ ආදායමක් ලබා ගත හැකි බව ජනතා විමුක්ති පෙරමුණ කියා සිටී.
ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේ හෙට ආණ්ඩුව බලයට පත්වුවහොත් පක්ෂයට මාසිකව විදෙස්ගත ප්‍රේෂණවලින් ඩොලර් බිලියන 1.5ත් 2ත් අතර ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට හැකිවනු ඇති බවයි.
ජනහමුවක් අමතමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ එම පක්ෂයේ විදේශීය කාර්යාල හරහා වැඩසටහන සම්බන්ධීකරණය කරන බවයි.
ටිල්වින් සිල්වා කියා සිටියේ විදේශගත ශ්‍රමිකයන් තම ඉපැයීම් නිල මාර්ග හරහා ප්‍රේෂණය කිරීමට පක්ෂයේ විදේශ කාර්යාලවලට දිරිමත් කළ හැකි බවයි.
පවතින අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ජනතා විමුක්ති පෙරමුණට වැඩපිළිවෙලක් තිබෙන බව සඳහන් කළ ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා එය නොසලකා හැර ඇති බවයි.
“මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉල්ලා අස්වුණාට පස්සේ අපි මාධ්‍ය හමුවක් කැදවා ප්‍රකාශ කළා අපි අතුරු බලයක් යටතේ ආණ්ඩුව ගන්න සූදානම් කියලා. අපි රාජ්‍ය නායකයාගෙන් කොන්දේසියක් ලෙස ඉල්ලා සිටියේ කථානායකවරයාට වැඩ බලන ජනාධිපති වීමට ඉඩ හැර ඔහුට ධුරයෙන් ඉවත්වන ලෙසටයි.” ඔහු පැවසීය.
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු සිටියද අමාත්‍ය මණ්ඩලයක් පිහිටුවීම සඳහා තවත් කිහිප දෙනෙකුගේ සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් ගෙනවිත් මහජනතාවට සහන ලබාදී මාස හයකින් මැතිවරණයක් කැඳවීමට ජනතා විමුක්ති පෙරමුණ බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.