වර්තමාන මුම්බායේ එකල බෞද්ධ භික්ෂූන්වහන්සේ වැඩසිටි, බණ භාවනා කළ ලෙන් ආරාම සමූහයක් ජනාකීර්ණ නගර සීමාවේ පිහිටා ඇති බව දන්නවද? නගරයේ සිට විනාඩි 30ක් 45ක් ඇතුළත ගිය විට මේ බොහෝ ලෙන් විහාර දැක ගැනීමට හැකියාව ලැබේ. මෙම ලෙන් විහාර අතර කොණ්ඩෙවිටේ ආරාම සංකීර්ණය මුල් තැන් ගනී. බොම්බායේ සුන්දර් නගර්හි අන්දේරි ප්‍රදේශයේ මෙම කොණ්ඩෙවිටේ ආරාම සංකීර්ණය පිහිටා ඇත. අද වන විට ඇතැමුන් මෙම ලෙන් හඳුන්වන්නේ මහාකාලී ගුහා යනුවෙනි.

මහාරාෂ්ට්‍ර බෞද්ධයෝ ප්‍රකාශ කරන්නේ මෙම ලෙන් ආරාම සංකීර්ණය මහාකාලී ලෙන් යනුවෙන් හැඳින්වීම නිවැරැදි නොවන බවයි. එම සංවිධානය මගින් මහාරාෂ්ට්‍රයේ ලෙන් විහාරවල තොරතුරු එක්රැස් කර ඒවා සුරැකීමට ක්‍රියා කරයි. ඒ අනුව කොණ්ඩෙවිටේ ලෙන් විහාර සංකීර්ණය පිහිටි නැතිනම් මහාකාලී ගුහා කඳුගැටය පුරාවිද්‍යා රක්ෂිතයක් බවට පත්කර තිබේ. මෙම කඳු ගැටය එදා හඳුන්වා ඇත්තේ උදයගිරි නමින් වන අතර වර්තමානයේ එය අන්දේරි නමින් හැඳින්වේ. කොණ්ඩෙවිටේ විහාර සංකීර්ණය එක පෙළට පිහිටා ඇති ලෙන් 19කින් යුතු අතර එහි ඇතැම් ලෙන් ක්‍රි.පූ. 2 වැනි සියවසේද ඇතැම් ලෙන් ක්‍රිස්තු වර්ෂ 6 වැනි සියවසේ දී පමණ ඇරැඹුණ බව අනාවරණය වේ.
මෙම ලෙන් විහාරයේ විවිධ කොටස් සකස්කොට ඇත්තේ සුවිශාල ගල් පර්වත අතර වන අතර ඒව් මහා සංඝරත්නයට වැඩ සිටීමට, බවුන් වැඩීමට මෙන්ම වන්දනාමාන කටයුතු සඳහා එකළ භාවිතා වී තිබේ. අශෝක අධිරාජයා බුද්ධාගම වැලඳ ගැනීමත් සමඟ අතීත භාරතය පුරාත්, විදේශ රටවලටත් ධර්ම ප්‍රචාරය පිණිස ධර්මදූතයන් පිටත් කරන අතරතුර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට වැඩම කළ ධර්ම දූතයාණන් වහන්සේ අර්හත් මහා ධම්මරක්ඛිත හිමි ලෙස සැලකේ. උන්වහන්සේ මහාරාෂ්ට්‍ර බුදු දහම නගාසිටුවීම සඳහා සුවිශාල සේවයක් කළ බව වාර්තා වේ.

මෙහි ලෙන් 19න් 15ක් නැගෙනහිරට වන්නට පිහිටා ඇති අතර ඉතිරි 4 බටහිරට වන්නට පිහිටා තිබේ. මෙහි ඇති ඇතැම් ගුහා ථෙරවාදී බුදු දහමේ ආභාසයෙන් සකස් වී ඇති බව එහි නටබුන්වලින් අනාවරණය වී තිබේ. නමුත් එහි ඇති ඇතැම් ගුහාවල ඇති ප්‍රතිමා, කැටයම් ආදී නෂ්ටාවශේෂ වලින් තහවුරු වන්නේ පසු කල මහායාන බලපෑම් ලද බවයි. එකල මෙහි ඇති ප්‍රතිමා ආදිය රනින් සරසා තිබූ බව විශ්වාස කෙරේ. මෙම ලෙන් අතර දැකගත හැකිවිශාල ශාලා තුළ බවුන් වැඩීම, ධර්ම සාකච්ඡා මෙන්ම වන්දනාමාන කටයුතු ද සිදුවන්නට ඇති බව විශ්වාස කෙරේ. (aayubo)
එසේ නම්, මෙම ලිපිය බෙදාගැනීමේදී ඔබේ අදහස් පහල අදහස් දැක්වීමේ කොටසෙහි පළ කිරීමට අමතක කරන්න එපා.
Buzzer.lk සහ Buzzer Travel හා සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම වූ විස්තර දැනගන්න.