ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඇතැම් ඩිපෝව පාඩු ලබන්නේ ඒවා ප්‍රාදේශීයව පිහිටා තිබීම සහ එම මාර්ගවල වැඩි වශයෙන් මගීන් ගමන් ගන්නා ගමන්වාර සංඛ්‍යාව අඩුවීම මත බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
ඒ සඳහා ක්‍රමවත් ක්‍රියාපටිපාටියක් අනුගමනය කිරීමට මේ වන විට කටයුතු කර ඇති බව අද (11) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයාගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.
තවද ලංගමය සතු බස් සංචිතයේ ඇති අඩුපාඩු හේතුවෙන් නිරන්තරයෙන් එ්වා අලුත්වැඩියා කිරීමට සිදුවන බැවින් ඒ සඳහා අධික වියදමක් වැය වන බැවින් එයින් ද ලංගමයට විශාල පාඩුවක් සිදුවන බව අමාත්‍යාවරයා පැවසීය.
එමෙන්ම 2026 වසරේ ජනවාරි 31 වනදා වන විට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ තිබූ සේවක පුරප්පාඩු සඳහා යම් සේවක සංඛ්‍යාවක් බඳවාගැනීටම හැකි වූ බව අමාත්‍යවරයා පවසයි.
ඔහු පැවසුවේ 2026.01.31 වෙනිදා වන විට රියදුරු 1,034ක් ද, කොන්දොස්තර 1,022ක් ද, කාර්මික 429ක් සහ වැඩමූලික 59 ද වශයෙන් පුරප්පාඩු පැවති නමුත් ඊයේ (10) දිනය වන විට එම පුරප්පාඩු වලින් යම් කොටසක් පිරවීමට කටයුතු කර ඇති බවය.
ඒ අනුව මේ වන විට සේවක පුරප්පාඩු පවතින්නේ රියදුරු 647ක්, කොන්දොස්තර 770ක්, කාර්මික 429ක් සහ වැඩමූලික 59 ද බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය.
එම පුරප්පාඩු සඳහා ද බඳවාගැනීම් සිදු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් පවතින වැටුප් විශමතාව ගැටලු නිරාකරණයට සහ නියමිත තනතුරට අන්තර් ග්‍රහණය කිරීමට සම්මුඛ පරීක්ෂණ පවත්වා අවසන් බවත් අමාත්‍යවරයා පවසයි.
ඉදිරියේ දී ඒ සඳහා ද කැබිනට් පත්‍රකාවක් මගින් අනුමැති ගනිමින් මෙම ගැටලුව විසඳීමට කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


