ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක්කරමින් ශ්‍රී ලාංකිකයින් නව යුගයකට එළැඹ ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන්ග් මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ මහජන චීනය පිහිටුවීමේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් වූ ඊයේ (25) පස්වරුවේ කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පැවති උත්සවයක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ චීනයේ සහාය තවදුරටත් ශ්‍රී ලංකාවට හිමිවන බවය.
මෙම උත්සවය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට, මෙරට චීන තානාපති, චී ෂෙන්හොන්ග්, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ව්‍යවසායක දිලිත් ජයවීර යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන්ග් මහතා,
“චීනය සැමදා ශ්‍රී ලංකාවේ විශ්වාසවන්ත මිතුරෙකු සහ ප්‍රයෝජනවත් සහකරුවෙකු ලෙස සිටිනවා. චීනය සහ ශ්‍රි ලංකාව අතර සමීප සහ ගැඹුරු සහයෝගීතාව නැවත නැවතත් පෙන්නුම් කර තිබෙනවා. හැකියාවන්ගෙන් වඩාත් සන්නද්ධ වූ ශ්‍රී ලංකාව එහි ස්වෛරීත්වය, ආරක්ෂාව, සංවර්ධනය සහ ගෞරවනීයභාවය රැකගනිමින් කලාපීය සහ ජාත්‍යන්තර තලයේ දැවැන්ත කාර්යභාරයක් ඉටුකිරීමට සමත්වේවි. සාර්ථක ජනාධිපතිවරණයක් පැවැත්වීම ගැන ශ්‍රී ලංකාවේ අප සහෝදර සහෝදරියන්ට උණුසුම් සුබපැතුම් එක්කරන්න මම මෙය අවස්ථාවක් කරගන්නවා. ශ්‍රී ලංකාවේ ජනතාව දැන් නව යුගයකට එළැඹ සිටින්නේ ඔවුන්ගේ ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක්කරමින්. චීනය අනෙකුත් මිතුරු රටවල සහය සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ශක්තිමත් නායකත්වය යටතේ උත්සාහවන්ත, බුද්ධිමත්, වික්‍රමාන්විත ශ්‍රී ලංකා ජනතාවට සියලු අවදානම් සහ අභියෝග පිටුදකිමින් වර්තමාන අර්බුදයෙන් පූර්ණ ලෙස මිදී ජාතික ආර්ථිකය යළි පනගන්වා සශ්‍රීකත්වය උදාකර ගැනීමට හැකිවනු ඇතැයි මම තරයේ විශ්වාස කරනවා.”
එහිදී අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා,
“ආර්ථික අර්බුදය පැවති සමයේ චීනය ශ්‍රී ලංකාවට ලබාදුන් සහය වෙනුවෙන් මම ස්තුතිය පළකරන අතර, තීරයක් සහ මාවතක් වැඩසටහන යටතේ මෙරට සාර්ථක ලෙස ව්‍යාපෘති රැසක් නිමකිරීම පිළිබඳවත් මෙහිදී සිහිපත් කරනවා. දැනට ක්‍රියාත්මක ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සඳහා චීන මූල්‍ය ආයතන විසින් අඛණ්ඩව ලබාදෙන සහාය පිළිබඳව ශ්‍රී ලංකා අතිශය කෘතඥ වනවා. ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ අභියෝගවලට අප තවදුරටත් මුහුණ දෙද්දී චීනයේ සහෝදරත්වය, සහාය සහ අඛණ්ඩ පාර්ශ්වකරුවකුවීම ශ්‍රී ලංකාව අපේක්ෂා කරනවා. චීන සංචාරකයින්ගේ ආගමනය අඛණ්ඩව ඉහළ යමින් පවතින අතර, මේ වසරේ පළමු මාස 6 තුළ චීන සංචාරකයින් 77,000 ඉක්මවා මෙරටට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාව විසින් මෑතකදී හඳුන්වා දුන් නිදහස් වීසා බලපත්‍ර වැඩසටහනට චීනය ද අයත් වන බව මෙහිදී සිහිපත් කරන්න කැමතියි.”