ජාතික විගණන කාර්යාලය සිදුකළ විගණනයේදී කිසිදු අවභාවිතයක් සිදුව නෑ – ජනාධිපති නීතීඥ තිලක් මාරපන
UPDATE – ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දී ඇත්තේ මෙම සිදුවීම සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ විගණන නිලධාරියාට විගණනය කිරීම සඳහා බලයක් නොමැති බවය.
එමෙන්ම මේ සම්බන්ධව සිදුකළ වියදම් සියල්ල ජනාධිපති වැය ශීර්ෂය බවත් ඒ සඳහා ජාතික විගණන කාර්යාලය සිදුකළ විගණනයේදී කිසිදු අවභාවිතයක් සිදුව නොමැති බවත් තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔහු අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.
————————-
ආරාධනා පත්‍රයේ නීතියානුකූලත්වය මෙතෙක් තහවුරු කරගෙන නෑ – අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්
පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ වනවිට කැඳවා තිබේ.
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඉදිරියේ නඩුව කැඳවා ඇත.
නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැත.
නඩුකරයේ කැඳවූ අවස්ථාවේදී අද (26) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන්, අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියේය.
සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් තිලක් මාරපන, අනූජ ප්‍රේමරත්න යන ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.
කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධත්වය දක්වා තිබේ.
මේ අතර ආරාධනා පත්‍රයේ නීතියානුකූලත්වය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවද අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.


