Monkeypox ආසාදිතයෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තාවීමත් සමඟ මේ සම්බන්ධයෙන් සමාජයේ දැඩි අවධානයක් යොමුවී ඇති අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
Monkeypox මෑතකදී සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්වූ අතර එය අද වනවිට රටවල් 109කට ව්‍යාප්ත වෙමින් ආසාදිතයින් බවට පත්කර ඇති බවට තහවුරු කල පුද්ගලින් සංඛ්‍යාව 78,000කට ආසන්න අතර දැනට ලොවපුරා වාර්තාවී ඇති මරණ සංඛයාව 36ක්.
ආසාදිත පුද්ගලයෙකු සමඟ ඉතා සමීප ආශ්‍රයක් මඟින් නිරෝගී පුද්ගලයෙකුගේ සිරුරට මෙම වෛරසය ඇතුලු වීමට ඉඩ තිබෙන අතර රෝගය නිසා ඇතිවන බිබිලි හා තුවාලවල , අනෙකුත් ශාරීරික තරලවල, අසාදිත ශ්වසන බිඳිතිවල මෙන්ම ආසාදිතයා මෑතක දී භාවිතා කල ඇඳ ඇතිරිලි වැනි දෑ වලත් වෛරසය අඩංගු විය හැකි බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කළේ.
සාමාන්‍යයෙන්, වෛරසය ශරීරගත වී දින 5 – 21 කාලයක් රෝග ලක්ෂණ පහළවීම සිදුවන අතර, සුලබ රෝග ලක්ෂණ ලෙස උණ, වසාගැටිති ඉදිමීම, මස් පිඬු වේදනාව, ශරීරයේ දැඩි විඩාපත්බව සමග ඇතිවන බිබිලි සඳහන් කල හැකියි. සාමාන්‍යයෙන් උණ ඇති වී දින 1-3 ගත වනවිට බිබිලි හටගැනීම සිදුවන අතර ප්‍රධාන වශයෙන් මුහුණත් දෑත් සහ පතුල්වලත් මේවා දකින්නට ලැබෙනවා. ඊට අමතරව මුඛය, ලිංගික ප්‍රදේශ සහ ඇස් ආශ්රිත ශ්ලේෂ්මලවලත් වේදනාකාරී බිබිලි / තුවාල හටගන්නා අවස්ථා තිබෙනවා.
රෝගය තහවුරු කරගැනීම සඳහා විවිධ රුධිර පරීක්ෂාවන් සහ PCR පරීක්ෂණ යොදා ගනු ලැබෙන අතර හටගත් කුෂ්ට සියල්ල සුව වී ඒවායින් ඇතිවන කබොලු සියල්ල ද හැලී ගොස් සුව වන තෙක්ම , මංකිපොක්ස් ආසාදිතයෙකුට රෝග-වාහකයෙකු වීමේ හැකියාව තිබෙන අතර මෙය සාමාන්‍යයෙන් සති 2-4 කාලයකින් ඉබේ සුවපත්වන (Self limiting) රෝගයක් වුවත් , ප්‍රතිශක්ති ඌණතා සහිත පුද්ගලයින්ට සහ කුඩා දරුවන්ට සංකූලතා ඇති වීමේ යම් අවදානමක් පවතිනවා.
රෝගය වලක්වාගැනීම සඳහා මෙවැනි රෝග ලක්ෂණ සහිත, තහවුරු කල හෝ සැක සහිත පුද්ගලයින් සමඟ ( විශේෂයෙන්ම සමට සම ස්පර්ශ වන පරිදි ) සමීප ශාරීරික සබඳතා පැවැත්වීමෙන් වැළකීම සහ එම පුද්ගලයා භාවිතා කල උපකරණ යනාදිය ස්පර්ශයෙන් වැලකී සිටීම නිර්දේශ කරන බවත් ඉහත කී සැක කටයුතු රෝග ලක්ෂණ පවතී නම් නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගැනීමත්, සම්පූර්ණ සුවය ලබන තෙක් අන් අය සමඟ සමීප ශාරීරික සම්බන්ධතාවලින් වැළකී සිටීමත් වැදගත් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය ජනතාවට දැනුම් දෙන්නේ.
මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්රවෘත්ති අංශයට පිවිසෙන්න.