ශ්‍රී ලංකාවේ හඳුනාගත් නව කර්මාන්ත ක්ෂේත්‍ර අතරින් ප්‍රමුඛතම ස්ථානයක් හිමිවන ඉසව් කළමණාකරණ (Event Management) කර්මාන්ත අංශයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉතිහාසයේ පළමු වරට උපදේශණ සභාවක් පත්කිරීම අද (9 දා) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. සේවා අංශය වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය උපදේශණ සභාවක් පත්කළ පළමු අවස්ථාව මෙය වෙයි.
ශ්‍රී ලංකාවේ වසර 30කට අධික කාලයක් තිස්සේ පවත්වා ගෙන එන නිර්මාණාත්මක කර්මාන්තයක් ලෙස හඳුනාගෙන ඇති මෙම ඉසව් කළමණාකරණ කර්මාන්තය 2025 වසරේදී රුපියල් බිලියන 60ක වටිනාකමක් සහිතව සෘජු රැකියා අවස්ථා 30,000ක් සහ වක්‍ර රැකියා අවස්ථා 80,000ක් ලබාදී ඇත. මෙය පවුල් ලක්ෂ 4කට අධික ප්‍රමාණයක් යැපෙන, ලංකාවේ ශිල්පීය දක්ෂතා ලෝකයට ගෙන යන දැවැන්ත කර්මාන්ත ක්ෂේත්‍රයකි. ඉදිරියේදී මෙම කර්මාන්තය රුපියල් බිලියන 250ක් දක්වා වර්ධනය කර ගැනීම රජයේ අපේක්ෂාවයි.
ගෝලීයව මෙම කර්මාන්තය වාර්ෂිකව 10%-14% වැනි ඉහළ වර්ධන වේගයකින් ඉදිරියට යන අතර ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.5ක වටිනාකමක් හිමිකරගෙන සිටියි.
රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය හා ශාස්ත්‍රීය අංශය යන අංශ තුනම නියෝජනය වන පරිදි කමිටු සාමාජිකයින් 25 දෙනෙක්ගෙන් මෙම උපදේශණ සභාව සමන්විත වන අතර එහි සභාපතිවරයා ලෙස ඉසව් කළමණාකරණ සංගමයේ සභාපති සාලිය වීරසේකර මහතා පත්විය.
මෙම ක්ෂේත්‍රයේ පවතින ගැටළු, අභිවෘද්ධිය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී අවධානය යොමු විය. විශේෂයෙන් සංචාරක ව්‍යාපාරය සමඟ ඒකාබද්ධව දකුණු ආසියාව තුළ ශ්‍රී ලංකාව ඉසව් (Events) සඳහා කේන්ද්‍රස්ථානයක් (Hub) බවට පත්කිරීමේ හැකියාව සාකච්ඡා කෙරිණි. මීට අමතරව:
- ඉසව් සංවිධානය කිරීමේදී අනුමැතීන් ලබා ගැනීමේ ගැටළු.
- ක්ෂේත්‍රය පිළිබඳ නිවැරදි දත්ත නොමැති වීම.
- නිර්මාණාත්මක අයිතීන් හා ප්‍රමිතීන් පවත්වා ගැනීම.
- ජාතික ඉසව් දින දර්ශනයක් (National Event Calendar) පවත්වා ගෙන යාම.
- අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් සංවර්ධනය.
- අගනගරය ආශ්‍රිතව ජාත්‍යන්තර මට්ටමේ ඉසව් පැවැත්වීම සඳහා සුදුසු පරිශ්‍රයක අවශ්‍යතාවය.
මෙම අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ලේකම් තිලකා ජයසුන්දර ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ කර්මාන්තකරුවන් පිරිසක් සහභාගී වූහ.



