ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවලට තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල පවතින කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.
මෙම අනතුරු ඇඟවීම අද (15) පෙ.ව. 10.30ට නිකුත් කර ඇති අතර, එය හෙට (16) පෙ.ව. 10.30 දක්වා පැය 24ක කාලයක් වලංගු වේ.
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා ඉහළ යා හැකි අතර මුහුද ද විටින් විට රළු විය හැකි බව එහි සඳහන්.
ඒ අනුව නාවික සහ ධීවර ප්‍රජාවට මේ පිළිබඳව අවදානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී ඇත.
එමෙන්ම කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 ත් 2.5ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමේ හැකියාවක් ද පවතින බව එම නිවේදනයේ සඳහන්.


