මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් රැඳවියෙකු මියගොස් තිබේ.
ඒ අනුව මියගිය සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය පිරිස අතර බන්ධනාගාර නිලධාරීන් 7දෙනෙකු සහ රැඳවියන් 20දෙනෙකු සිටින අතර බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු සහ රැඳවියන් 53 දෙනෙකු තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්.
පසුගිය 05 වන දින මීගමුව බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පිරිසක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමට විරෝධය දක්වන පිරිසක් අතර කලහකාරී තත්ත්වයක් ඇතිවී තිබුණි.
එහිදී දෙපාර්ශ්වයේ ම රැඳවියන් තුවාල ලැබූ අතර ඉන් රැඳවියන් 2දෙනෙකු මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලැබීය.
ඊයේ (06) පෙරවරුවේ නැවතත් මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමක් හටගත් අතර එහිදී බන්ධනාගාර නිලධාරීන් එය පාලනය කිරීමට උත්සහ කිරීමත් සමඟ රැඳවියන් විසින් බන්ධනාගාර නිලධාරීන්ට පහර දී තිබුණි.
එහිදී බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් 100කට අධික පිරිසක් තුවාල ලැබූ අතර 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
මේ අතර, මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවූ කලහකාරී තත්ත්වය පිළිබද කොළඹ අපරාධ කොට්ඨාශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ, මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය විසින් මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බවය.
බන්ධනාගාරයේ රැඳී සිටි රැඳවියන් 700 දෙනෙකු පමණ ආරක්ෂාව සඳහා අගුණකොළපැලැස්ස, දුම්බර, අනුරාධපුර, පොළොන්නරුව සහ කුරුවිට යන බන්ධනාගාර වෙත මාරුකර යැවීමට පියවර ගෙන ඇති බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ අතර මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් සහ පුළුල් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් අදාළ කමිටුව පත්කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ මිලින්ද ගුණතිලක මහතා සහ ජනාධිපති නීතීඥ මොහාන් වීරකෝන් මහතා එම කමිටුවේ සෙසු සාමාජිකයින් වේ.
අදාළ කමිටුව විසින් සිද්ධිය පිළිබද සියලු කරුණු පුළුල් ලෙස විමර්ශනය කර ඊට හේතුවූ කරුණු, ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සහ එවැනි සිදුවීම් යළි ඇති වීම වැළැක්වීම සඳහා ගතයුතු නිර්දේශ ඇතුළත් වාර්තාවක් රජයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් මියගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (07) සිදුකිරීමට නියමිතය.
මේ අතර අදාළ ගැටුමෙන් මියගිය රැඳවියන් හඳුනා ගැනීම සඳහා ඥාතීන්ට අවස්ථාව ලබාදී තිබේ.
මියගිය පුද්ගලයින්ගේ ඡායාරූප රෝහලේ ප්‍රදර්ශනය කර ඇති අතර ඒවා හඳුනා ගැනීමට අද දිනයේ අවස්ථාව ලබාදී ඇති බව මීගමුව රෝහල සඳහන් කළේය.


