රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී උපවාසයක් ආරම්භ කිරීම හේතුවෙන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට දෛනිකව නීතිඥ සහාය ලබාදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කර තිබේ.
සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය හට ලිඛිතව දැනුවත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් මේ බව දැනුවත් කර ඇත.
සලේ මහතාට සතියේ දින 5 පුරා ඔහුගේ නීතිඥ අසිත සිරිවර්ධන හමුවීමට අවසර දෙන ලෙස ඉල්ලා මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබූ අතර ඊට පිළිතුරු ලබා දෙමින් CID අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් මේ බව දැනුවත් කර තිබේ.
අදාළ ලිපිය මගින් CID අධ්‍යක්ෂකවරයා දන්වා ඇත්තේ සුරේෂ් සලේ මහතා මේ වන විට විමර්ශන කටයුතුවලින් බැහැරව රෝහල්ගතව සිටින බැවින් මෙම අවස්ථාවේදී ඔහුට නීති උපදෙස් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවය.
එමෙන්ම නිරන්තරයෙන් නීතිඥවරයා හමුවීම තුළින් සැකකරුට අවශ්‍ය මානසික විවේකය අහිමිවී සෞඛ්‍ය තත්ත්වයට අහිතරක බලපෑම් එල්ල විය හැකි බවත් අධිකරණ නියෝග මත දැනටමත් සෑම සතියේ දිනකම බදාදා දිනවල පමණක් නීතිඥවරයාට ඔහුව හමුවීමට ඉඩ ලබා දී ඇති බවත් CID අධ්‍යක්ෂවරයා මනෝරි සලේ මහත්මියට අදාළ ලිපිය මගින් දන්වා තිබේ.
ඒ අනුව සලේ මහතාගේ නීතිඥවරයා වන අසිත් සිරිවර්ධන මහතාට සෑම බදාදා දිනකදී පමණක් සලේ මහතාව හමුවීමට ඉඩ ලබා දිය හැකි බවත් පවුලේ සාමාජිකයින් වන බිරිඳ, දියණිය සහ පුතාට දෛනිකව ඔහුව බැලීමට අවස්ථාව සලසා දී ඇති බැවින් නීතිඥවරයාට හමුවීමට අවස්ථාව ලබා දිය නොහැකි බවත් CID අධ්‍යක්ෂවරයා අදාළ ලිපිය මගින් මනෝරි සලේ මහත්මියට දන්වා ඇත.


