දීප ව්‍යාප්ත ‘වන අලි සංගණනය’ අද (17) ආරම්භ කෙරුණා.
මෙම සංගණනයේ මූලික අරමුණ වන්නේ මෙරට වන අලි සංරක්ෂණය කිරීමට අදාලව කළමනාකරණ කටයුතු සිදුකිරීමයි.
මෙරට අවසන්වරට වන අලි සංගණනයක් සිදුකර ඇත්තේ 2011 වසරේ දී යි. එහි ප්‍රතිඵල අනුව සඳහන් වූයේ මෙරට වනාන්තරවල වන අලින් 5879 දෙනෙකු වෙසෙන වන බවයි.
දීප ව්‍යාප්ත සංගණනයට අදාළව අනුරාධපුර වනජීවී කලාපය තුළ සිදුකෙරන සංගණනය සදහා නිලධාරින් 1310 ක් යොදාගන්නා බවයි අනුරාධපුර කලාප භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ කීර්ති චන්ද්‍රරත්න මහතා සදහන් කළේ.
ඒ අනුව අනුරාධපුර කලාපය තුළ ස්ථාන 623 ක නිලධාරීන් රඳවමින් සංගණනය සිදුකිරීමට සැලසුම් කර ඇති බව සඳහන්. සංගණනයේ පහසුව සදහා අනුරාධපුර වනජීවී කලාපය කලාප පහකට බෙදා ඇත.
විල්පත්තුව , රිටිගල, හොරොව්පතාන , මැදවච්චිය හා අනුරාධපුර යන ප්‍රදේශ එම කලාපවලට අයත්.
වනාන්තරවල සහ ගම්මාන ආශ්‍රිතවත් අලින් ගැවසෙන වැව් ආශ්‍රිතවත් නිලධාරින් ස්ථානගත කරමින් මෙම සංගණනය සිදුකිරිමටයි සැලසුම් කර ඇත්තේ. ඒ අනුව අඛණ්ඩව දිවෙන කාල රාමු පහක් යටතේ අද (17) සවස 1.00 සිට එළඹෙන 19 වනදා සවස 1.00 දක්වා සංගණනය දියත් වනු ඇති.
සංගණනය සදහා එක්වන නිලධාරීන්ට සංග්‍රහ දීමනා, ජලය, අවශ්‍ය ඖෂධ, අලි වෙඩි, දුරකතන සම්බන්ධතා සදහා පහසුකම්, විදුලි පදන්දම් මෙන්ම ගමන් මලු ආදිය වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැපයෙන අතර නිලධාරින්ගේ ආරක්ෂාව සදහා ඒ ඒ උප කලාපයන්හි නිලධාරීන් නිරන්තර අවධානයෙන් ද පසුවේ.
විධිමත් විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රියාත්මක කෙරෙන මෙම සංගණනය සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීම සඳහාත් නිලධාරීන් යොදවා සිටීම ද විශේෂයි.


