උතුරු පළාතට අයත් දූපත් සමූහය අතර ලක්මවට අයත් ඉතා මනරම් භූමි භාගයකට උරුමකම් කියන නෙඩුන්තිව් හෙවත් ඩෙල්ෆ්, අනෙක් දූපත් 19 අතර විශාලත්වයෙන් තුන්වැනියා ය. ඒ අනලතිව්, චිරුතිව් හෙවත් සිරුතිව්, එලුවයිතිව්, කුච්චතිව්, කාරතිව්, කනන්තිව්, කරයිතිව්, කයිට්ස්, කුරිකඩ්ඩුවන්, මන්ඩතිව්, නඩුතුරුතිව්, නයිනතිව් හෙවත් නාගදීප, පලායිතිව්, පරට්ටිතිව්, පුලියන්තිව්, පුන්ගුඩතිව් හා තෝරට්ට පූට්ටු යන දූපත්වලට සාපේක්ෂවය.
රමණීය සුන්දර වටපිටාවක්ට උරුමකම් කියන මේ දූපත් සමූහය අතරින් ඩෙල්ෆ්ට් දූපත වඩා චිත්තාකර්ෂණීය දූපතකි. මෙය දමිළ බසින් නෙඩුන්තිව් යනුවෙන් හැඳින් වේ. වර්ග කිලෝමීටර් 50ක වපසරියකින් යුතු මේ දූපත දිගින් කිලෝමීටර් 08ක් පමණ වේ. පළලින් කිලෝමීටර් 06ක් පමණවන මෙම දූපත ලන්දේසීන් විසින් හැඳින් වූයේ ඩෙල්ෆ්ට් යනුවෙනි. ඩෙල්ෆ්ට් යනු එදා ඕලන්දයේ පිහිටි නගරයකි. යාපනය අර්ධද්වීපයේ බටහිර දෙසින් පිහිටා ඇති මේ දූපත ඉලිප්සියාකාර හැඩයකින් යුක්තය. තැනිතලා බිමක් සහිත මෙය වගුරු බිම්වලින් සුසැදි මනරම් වෙරළ තීරයකට උරුම කම් කියන්නකි. වැලි සහ හුණුගල් සහිත පසක් ඇති මෙහි තිබෙන පාෂාණ මයෝසීන යුගයට අයත් බව පැවසෙයි.
ඩෙල්ෆ්ට් වැසියන් හුණුගල්වලින් උපරිමයෙන් ප්‍රයෝජන ගැනීමට රුසියෝ ය. සමහරක් තැනක තල් අතු යොදාගනිමින් සිය මායිම සලකුණු කර තිබුණ ද බොහෝදෙනා තම ඉඩම් වෙන් කරගෙන ඇත්තේ හුණුගල් එකපිට එක තබා අලංකාරව ඉදි කළ උසැති හුණුගල් තාප්පවලිනි. මෙය ද ඩෙල්ෆ්ට් දූපතේ අනන්‍යතාව ප්‍රකට කරන්නකි.
තල් අතු පැලක් හෝ හුණුගලින් බැඳි කුඩා නිවසක් හැරුණු කොට මනා ලෙස ඉදිවුණු නිවාස මෙහි නැති තරම්ය. ආගන්තුක සත්කාරයෙන් පොහොසත් මේ ජනතාවගේ ප්‍රධාන ජිවනෝපාය වන්නේ ධීවර කර්මාන්තයයි. විශේෂයෙන්ම කරවල වේලීම මොවුන්ගේ ජීවන වෘත්තිය බවට පත්ව තිබේ. දැඩිව සූර්ය තාපය මේ දූපතට පතිත වීම ඊට හේතුව වන්නට ඇත. ඩෙල්ෆ් හී වැඩෙන ප්‍රධාන බෝගය තල්ගස් ය. තල් මලෙන් පෙරා ගන්නා රා ඩෙල්ෆ්ට් වැසියන් ගේ ප්‍රියතම පානය යි. මිශ්‍ර ශුෂ්ක වියළි ඝර්මකලාපීය වන වැස්මක් දූපත පුරා පැතිර තිබේ. දූපතේ බොහෝ පෙදෙස් තල් ගසින් පිරී වනාන්තර ස්වභාවයක් ගනී. තල් ආශ්රිත නිෂ්පාදන ද සිදු කෙරෙයි. තල් හැරුණු කොට සරු පොල් වගාවක් ඩෙල්ෆ්ට් දූපත සතු ය. තැනිතලා බිම්වල පඳුරු සහිත කැළෑ දක්නට ලැබේ.
සංචාරක පක්ෂීන් ගේ නිජබිමක් වන මේ දූපත එවන් කාලවල දී විවිධ විශේෂවලට අයත් පක්ෂීන්ගෙන් පිරී යයි. දූපතට ආවේණික වූ වෙනම නේවාසික පක්ෂි විශේෂයක් හඳුනා ගත නොහැකි වුවද මුහුදු උකුස්සන්, කපුටන් හා මයිනන් මේ දූපත පුරා සරන ආකාරය අපට දැකගත හැකි විය. මීට අමතරව මුහුදු බෙල්ලන් නිදැල්ලේ සරන ගව රංචු සහ එළුවන් සුලබව දැකිය හැකිය. මේ සතුන්ට අයිතිකරුවන් සිටියද කිරිදෙනක පමණක් ගෙවත්තේ ගැටගසා කිරි දොවා ගැනීම පමණක් සිදු කෙරේ. උන්ට නිදැල්ලේ සැරීමට ඉඩදීම දූපත් වැසියන් කැමැත්තය. මෙම දූපතේ වැලි පොළඟුන් බහුලව සිටිති. ඉඩලද විටක මේ සුන්දර දූපත නරඹන්න ඔබත් යන්න. (aayubo)
Buzzer.lk සහ Buzzer Travel හා සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම වූ විස්තර දැනගන්න.