සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව සිය දෙවැනි ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ ඊයේ (07 වැනිදා) සමත් විය. එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වූ දෙවැනි සිව්දින ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී ලසිත් කෲස්පුල්ලේ එම ශතකය ශ්‍රී ලංකා ‘ඒ’ වෙනුවෙන් වාර්තා කළේය.
තරගයේ ඊයේ පැවැත්වීමට නියමිත පන්දුවාර සංඛ්‍යාවෙන් අඩකට වැඩි ප්‍රමාණයක් වර්ෂාවෙන් අපතේ ගිය අතර ඒ අනුව ඊයේ තරගය නතර කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ පිල කඩුලු 3ක් දැවී ලකුණු 190ක් රැස්කරගෙන සිටියේය. ශතක ලාභී ආරම්භක පිතිකරු ලසිත් කෘස්පුල්ලේ ඒ වන විට නොදැවී ලකුණු 122ක් ලබා සිටි අතර නායක නිපුන් ධනංජය නොදැවී ලකුණු 14ක් ලබා සිටියා.
ලසිත් කෲස්පුල්ලේගේ එංගලන්ත ලයන්ස් පිලට එරෙහි ශතකය පන්දු 90කදී වාර්තා වූ අතර ඊට හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය. ජොස් ටංග්ගේ පන්දුවකට හතරේ පහරක් එල්ල කරමින් ලසිත් ශතකයක් රැස් කළ අතර ඉන් අනතුරුව ඔහු සිය ආක්‍රමණශීලී පිතිහරඹය අවසන් කළේ නැත. ශතකය ලබා ගැනීමට සමත් වූ ඔහු, මුහුණ දුන් පන්දු 19කදී තවත් හතරේ පහර 3ක් සමඟින් තවත් ලකුණු 21ක් රැස් කළේය.
එංගලන්ත ලයන්ස් සමග පැවැත්වෙන තුන්දින පුහුණු තරගයේ සිවුවැනි ඉනිමේදී වේගවත් ශතකයක් වාර්තා කරමින් ලසිත් කෲස්පුල්ලේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියේය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 309ක් අවශ්‍ය වූ අතර ලසිත්ගේ ශතකය හේතුවෙන් පන්දු 84කදී ලකුණු 116ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව පන්දුවාර 50යි පන්දු 4කදී කඩුලු 5ක් දැවී ජයග්‍රහණය කළා.
පෙර තරගයේදී ලසිත් සමගින් ඉනිම ආරම්භ කළ නිශාන් මධුෂ්ක ඊයේ ලකුණු 22කට දැවී ගිය අතර නුවනිදු ප්‍රනාන්දුගේ ඉනිමද ලකුණු 22කට සීමා විය. කමිදු මෙන්ඩිස් ලකුණු 6කට දැවී ගිය අතර ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම කඩුලු 3කට ලකුණු 149ක් විය.
එහෙත් ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ තම අන්තය ආරක්ෂා කර ගනිමින් ලයන්ස් පන්දු යවන්නන් ගැන කිසිදු තැකීමක් නොකර නොකඩවා ලකුණු ලබා ගැනීමට සමත් විය. නායක නිපුන් ධනංජය පන්දු 31කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 14ක් ලබා සිටියදී වර්ෂාව හේතුවෙන් තරගය නතර විය. එංගලන්ත ලයන්ස් වෙනුවෙන් සෑම් කුක්, මැතිව් ෆිෂර් සහ ජොෂ් ටංග් එක් කඩුල්ල බැගින් දවා ගත්හ. (දිවයින)
ලකුණු සාරාංශය
ශ්‍රී ලංකා “ඒ” – 190/3 (44.3) ලසිත් කෘස්පුල්ලේ නොදැවී 122, නිපුන් ධනංජය නොදැවී 14, නුවනිදු ප්‍රනාන්දු 22, නිශාන් මධුෂ්ක 22, කමිදු මෙන්ඩිස් 06
පන්දු යැවීම – මැතිව් ෆිෂර් 61/1, ජෝස් ටොන්ගු 45/1, සෑම් කුක් 40/1
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.