නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලය සිට කි.මී.370 ඊසාන දෙසින් ස්ථානගතව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුල ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාවක් ඇති අතර ඒ හේතුවෙන් දෙසැම්බර් මස 24 සහ 25 යන දිනයන්හිදී දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
උතුරු, නැගෙනහිර, බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50)ක පමණ තද සුළං ඇතිවීමේ හැකියාව පවතිනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.