අගෝස්තු 3 වැනි දින ජනාධිපතිවරයා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසා ඇත්තේ ස්ථාවරත්වය ගෙන ඒමට සහ රට මුහුණ දී සිටින වත්මන් අභියෝගවලින් ශ්‍රී ලංකාව ගොඩ ගැනීමට සුදුසු පරිසරයක් සහතික කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තීරණාත්මක වනු ඇති බවයි.
මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා ජාතික උපාය මාර්ගයක් සකස් කිරීමේදී සියලු දේශපාලන පක්ෂ අතර එකඟතාවක් ඇති කිරීමට ජනාධිපතිවරයාගේ කැපවීම එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් පිළිගනු ලැබීය. නීතියේ ආධිපත්‍යයට සහ මූලික මානව හිමිකම් මූලධර්මවලට ගරු කිරීම මෙන්ම මහජන අදහස් විමසීම ඇතුළුව සියලුම පාර්ශ්වකරුවන් අතර සංවාදය දිරිගැන්වීමේ වැදගත්කම ද මහලේකම්වරයා පෙන්වා දුන්නේය.
මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් කාන්තා දේශපාලන සහභාගීත්වය සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයන් පිළිගෙන ප්‍රගතිය වේගවත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නායකත්වය දිරිමත් කළේය. ශ්‍රී ලංකාවේ රජයට සහ ජනතාවට ඔවුන්ගේ ක්ෂණික හා දිගුකාලීන අවශ්‍යතා සපුරාලීම සඳහා සහාය දීමට තමන් සූදානම් බව අවධාරණය කළ එක්සත් ජාතීන්ගේ සංවිධානය සාමය ගොඩනැගීම, තිරසාර සංවර්ධනය සහ සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ අභිවෘද්ධිය උදෙසා මානව හිමිකම් ප්‍රවර්ධනයට එක්සත් ජාතීන්ගේ සහයෝගීතාව අඛණ්ඩව ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද හෙතෙම පැවසීය.