මැයි 9 වැනි දින ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර පංචිකාවත්ත ප්‍රදේශයේදී පොලිස් අධිකාරීවරයෙකුට (SP) පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සඳුදා (22) අත්අඩංගුවට ගෙන ඇත.
ඇය මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කාන්තාවක් බව පොලිසිය පවසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ සැමියාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර අවස්ථාවකදී අත්අඩංගුවට ගෙන තිබුණා. කුපිත වූ පිරිසක් මැයි 9 වැනිදා සවස නියෝජ්‍ය පොලිස්පතිවරයකුට සහ මෙම පොලිස් අධිකාරිවරයාට පහර දී ඔවුන්ගේ වාහනවලට පංචිකාවත්තේදී ගිනි තැබූහ. අත්අඩංගුවට ගත් කාන්තාව පොලිස් නිලධාරීන්ට ද පහර දී පොලිස් අධිකාරීවරයා සතුව තිබූ රන් ආභරණ කිහිපයක් කොල්ලකා ඇති බව පොලිසිය පවසයි. පොලිස් නිලධාරියා මීගමුවේ සිට විශේෂ රාජකාරියක් සඳහා කොළඹ බලා යමින් සිටියදී ප්‍රදේශවාසීන්ගේ මෙම අනපේක්ෂිත ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය පවසයි. ඔහුගේ නිල පිස්තෝලයද ප්‍රහාරකයන් විසින් සොරාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පවසයි.