රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා ඊයේ ප්‍රකාශ කළේ එක් කැබිනට් ප්‍රකාශකයෙකු පමණක් සිටින බවට සඳුදා පැවති පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බවයි.
අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී රටේ පවතින සමාජ, ආර්ථික, දේශපාලන සියලු කරුණු වැඩි වශයෙන් සාකච්ඡා වූ බවත්, කැබිනට් තීරණ දැනුම් දීම සඳහා තමා කැබිනට් ප්‍රකාශකවරයා ලෙස පත් කළ බවත් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ආන්දෝලනාත්මක මාතෘකාවක් සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ අමාත්‍යවරුන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට පැමිණෙන බවද අමාත්‍යවරයා කියා සිටියා.