රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී පොලිස් රාජකාරියට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරීමේ චෝදනා මත ගම්පහ උඩුගම්පොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කාන්තාව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 

මෝටර් රථයකින් ගමන් කරමින් සිටි අදාළ කාන්තාව රථවාහන වරදක් සම්බන්ධයෙන් නතර කිරීමට පොලිස් නිලධාරීන් උත්සාහ දරා ඇති අතර එහිදී ඇය පොලිස් අණ නොතකා මෝටර් රථය ධාවනය කර තිබුණි.  

පසුව එම මෝටර් රථය හඹා ගිය පොලිස් නිලධාරීන් උඩුගම්පොළ ප්‍රදේශයේදී එම රථය නතර කර පරීක්ෂා කිරීමට උත්සාහ දරා ඇති අතර එහිදී එම කාන්තාව තමා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ නැගනියක බව පවසමින් පොලිස් රාජකාරියට බාධා කර තිබුණි. 

සැකකාරිය කළහකාරී ලෙස හැසිරෙන ආකාරය සහ අවට රැස්වූ ජනතාව ඊට විරෝධය පළ කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි. 

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර කාන්තාව රථවාහන පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර ඇය 46 හැවිරිදි දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් බව වාර්තා වෙයි. 

එමෙන්ම සැකකාරිය, ඇය පවසන ආකාරයට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුගේ නැගනියක් නොවන බව ද පොලිසිය අවධාරණය කළේය.

අන්තරාදායක හා අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය, පොලිස් සංඥා නොතැකීම, සාපරාධී බලහත්කාරය පෑම හා අන් අයෙකු ලෙස පෙනී සිටීම යන චෝදනා යටතේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර සැකකාරිය ලබන 3 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. 

Share.
Leave A Reply

Exit mobile version