ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය වෙන්පුරවිනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු කලාපයේ 2024 ඔක්තෝබර් මස 29 වන දින උදෑසන කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, වලංගු ධීවර අවසර පත්‍රයක් නොමැතිව නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් දෙසීය අනු එකක තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.
ඒ අනුව, 2024 ඔක්තෝබර් මස 29 වන දින උදෑසන කාලයේ උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනය,යාපනය, වෙන්පුරවිනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු කලාපයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ වලංගු ධීවර අවසර පත්‍රයක් නොමැතිව නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් දෙසීය අනු එකක (291) තොගයක් ගොඩබිම වෙත ප්‍රවාහනය කරමින් තිබියදි එම සැකකරුවන් තිදෙනා , ට්‍රෝලර් යාත්‍රාව හා මුහුදු කූඩැල්ලන් තොගය මෙසේ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24ත් 40ත් අතර පසුවන යාපනය, අල්ලයිපිඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන් තිදෙනා (03), මුහුදු කූඩැල්ලන් දෙසීය අනු එකක (291) තොගය සහ ට්‍රෝලර් යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස්, වේලානායි ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
