එක්සත් රාජධානියේ ගෞරවනීය රාජකීය හමුදා ඇකඩමියේ සැන්ඩ්හර්ස්ට් පුහුණුව පසුගියදා නිම කර උපාධිය ලබා ගත් ශ්‍රී ලංකා යුද හමුදාවේ කැඩෙට් නිලධාරි මොහොමඩ් අනීක් පිළිබඳ කිසිදු තොරතුරක් ශ්‍රී ලංකා බලධාරීන්ට ලැබී නොමැති බව වාර්තා වේ.
අගෝස්තු මස මැද භාගයේදී කැඩෙට් නිලධාරී අනීක් අතුරුදන් වීමත් සමඟ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් විමර්ශනයක් ආරම්භ කළේය.
සති 44 ක දැඩි පුහුණු වැඩසටහනකට භාජනය වූ අනීක්, කැඩෙට් නිලධාරීන් සඳහා පුහුණුව අවසන් කිරීම සනිටුහන් කරන ප්‍රධාන චාරිත්‍රානුකූල උත්සවය වූ අගෝස්තු 9 වැනි දින පැවති පෙළපාළියේදී දෙවැනි ලුතිනන්වරයකු ලෙස පත් කෙරිණි.
එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම ද උත්සවයට සහභාගී වූයේ අනීක්ට පෞද්ගලිකව සුබපැතුම් පිරිනැමීම සඳහාය.
කැඩෙට් නිලධාරි මොහොමඩ් අනීක් අගෝස්තු 9 වැනිදා ඇකඩමියෙන් ඉවත් වූ පසු නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබිණි.
කෙසේවෙතත්, පසුදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානය ඔහු මඟ හැර තිබිණි.
ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ගුවන් තොටුපළට ප්‍රවාහන පහසුකම් ලබාදීමට ඉදිරිපත් වූ විට තමා විසින්ම එම පහසුකම සළසා ගන්නා බව පවසමින් අනීක් එය ප්‍රතික්ෂේප කළ බව වාර්තා වේ.
ශ්‍රී ලංකා යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් කේ.ඒ.එන්. රසික කුමාර පවසා ඇත්තේ අනීක් සිටින ස්ථානය පිළිබඳ තවමත් තොරතුරක් නොමැති බවයි.
අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔවුන් එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දී ඇති බවත්, ඔවුන් මේ සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින බවත් ඔහු පැවසීය.
එක්සත් රාජධානියේ පදිංචි අනීක්ගේ ඥාතීන් කිහිප දෙනෙකු ඔහු අධිකාරීත්වයට පත් කිරීමේ උත්සවයට පැමිණ සිටි බව වාර්තා වූ නමුත් ඔහු සිටින ස්ථානය පිළිබඳව කිසිදු තොරතුරක් ප්‍රකාශ වී නොමැත.