2024 අගෝස්තු මස 26 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Mumbai’ නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහුනෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (අගෝස්තු 29) දිවයිනෙන් පිටත්ව ගිය අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසයේදී (PASSEX) නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම, නෞකා අතර පණිවුඩ හුවමාරුව වැනි නාවික අභ්‍යාසයන් සාර්ථකව සිදු කරන ලද අතර, නෞකා අතර ආචාර සමාචාර සිදු කිරීමෙන් අනතුරුව එම අභ්‍යාසය නිමාවට පත්විය.
එමෙන්ම, ‘INS Mumbai’ නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහන් සඳහා මෙන්ම දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද කටයුතු කෙරුණු අතර, නෞකාවේ අවි සම්බන්ධ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය සඳහා නාවික හමුදා සාමාජිකයින්ට හට අවස්ථාව උදා විය.
එසේම, විදේශීය නාවික හමුදාවන්ට අයත් නෞකා විසින් සිදුකරනු ලබන මෙවැනි සුහද සංචාර මඟින්, දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වයහා සහයෝගීත්වය වැඩිදියුණු වන අතර, එම නෞකා සංචාරයන්ට සමගාමීව සිදු කරනු ලබන ඒකාබද්ධ නාවික අභ්‍යාස තුළින් හුවමාරු කරගනු ලබන නව දැනුම සහ අත්දැකීම්, ඉදිරියේදී සාගර කළාපයේ පොදු සමුද්‍රීය අභියෝග සාමූහිකව ජයගැනීම සඳහා මහඟු පිටුවහලක් ගෙනදෙනු ඇත.





