ශ්රී ලංකාව සහ එංගලන්තය අතර ලෝඞ්ස් ක්රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (30 වැනිදා) එංගලන්ත කණ්ඩායම ලකුණු 427 කට දැවී ගියේය. කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ නමුත් එංගලන්තය වෙනුවෙන් ජෝ රූට් (143) සහ ගස් ඇට්කින්සන් (118) ශතක ලබාගනිද්දී අසිත ප්රනාන්දු ලකුණු 102 කට කඩුලු 5 ක් දවාගත්තේය.
ලෝඞ්ස් ක්රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගයදී කඩුලු 5 ක් දවාගත් දෙවැනි ශ්රී ලාංකිකයා අසිත ප්රනාන්දුය. එවන් දස්කමක් කළ පළමුවැනි ශ්රී ලාංකිකයා වූයේ 1991 දී ලකුණු 69 කට කඩුලු 5 ක් දවාගත් රුමේෂ් රත්නායකය.
මිඞ්ල්සෙක්ස් ප්රාන්ත කණ්ඩායම නියෝජනය කරන ගස් ඇට්කින්සන් කණ්ඩායමට එක්වූයේ වේග පන්දු යවන්නකු ලෙසිනි. මෙතෙක් ක්රීඩා කළ ටෙස්ට් තරග 4 දී ගස් ඇට්කින්සන්ගේ නමට කඩුලු 26 ක් සටහන් වී තිබේ. පළමු පෙළ තරග 23 කට ක්රීඩා කර ඇති ගස් ඇට්කින්සන් ඒවායේදී පිත්තෙන් ලකුණු 550 ක් ලබාගෙන ඇතත්, ඔහුගේ පළමුවැනි පළමු පෙළ ශතකය වූයේ අද දිනයේදී ශ්රී ලංකාවට එරෙහිව ලබාගත් ලකුණු 118 යි. මේ ඔහුගේ පස්වැනි ටෙස්ට් තරගයයි.
ඒ වෙනුවෙන් පන්දු 115 කට මුහුණ දුන් ගස් ඇට්කින්සන් හතරේ පහර 14 කින් සහ හයේ පහර 4 කින් සිය ඉනිම අලංකාර කළේය.