එල් නිනෝ සහ ලා නිනා සංසිද්ධීන් හමුවේ ශ්‍රී ලංකාවේ උභයජීවී හා සාගරික ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමේ අභියෝග පිළිබඳව දේශගුණික සංසදයේ අවධානය යොමුව තිබේ.

ඒ එම  සංසදය එහි සම සභාපතිවරුන් වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී දේශගුණික විපර්යාස, විශේෂයෙන් එල් නිනෝ තත්ත්වය, ශ්‍රී ලංකාවේ සාගරික පරිසර පද්ධති, වෙරළබඩ කලාප, ජෛව විවිධත්වය සහ වෙරළබඩ ප්‍රජාවන්ගේ ජීවනෝපාය කෙරෙහි ඇති කරන බලපෑම් පිළිබඳව සාකච්ඡා කරන ලදී.

සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් කොරල් පර විරංජනයවීම (Coral Bleaching), මත්ස්‍ය ගහනයේ සිදු වන  සංක්‍රමණික වෙනස්කම්, විෂ ඇල්ගී වර්ධනය (Algal Blooms), ඔක්සිජන් අවම කලාප (Dead Zones) ඇතිවීම සහ ජල පරිසර පද්ධතිවල අස්ථාවරතාවය වර්ධනය වීම වැනි ගැටලු පිළිබඳව සහභාගී වූ නිලධාරීහු සංසදයේ අවධානයට යොමු කළහ.

එමෙන්ම, නියඟ තත්ත්වයන්හි  ප්‍රතිඵලයක් ලෙස  ගංගා ජල මට්ටම් පහත වැටීම සහ මුහුදු ජලය ගංගා පද්ධති තුළට ඇතුළු වීම නිසා පානීය ජල සැපයුමට තර්ජන එල්ල වීම සහ ධීවර හා සංචාරක කර්මාන්තයට මෙම පාරිසරික වෙනස්කම් හේතුවෙන් ඇති වන ආර්ථික බලපෑම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි..

ශ්‍රී ලංකාවේ සාගරික සම්පත් ආරක්ෂා කිරීම සඳහා නාරා ආයතනය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ ආයතන විසින් ඉටු කරනු ලබන කාර්යභාරය පිළිබඳව ද සාකච්ඡා කෙරුණු අතර,  එකී  ආයතන අතර වඩාත් ඵලදායී සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ද සංසදය විසින් සිහිපත් කරන ලදී.

තවද, ඉදිරියේදී ඇති විය හැකි “ එල් නිනෝ” තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා සාගර නිරීක්ෂණ පද්ධති ශක්තිමත් කිරීම, පරිසර පද්ධති ප්‍රතිස්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, විද්‍යාත්මක දත්ත මත පදනම් වූ තීරණ ගැනීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම සහ ඒකාබද්ධ ජාතික සාගර කළමනාකරණ සැලැස්මක් සකස් කිරීමේ වැදගත්කම ද සංසදය විසින් අවධාරණය කරන ලදී.

එමෙන්ම දේශගුණික විපර්යාස හේතුවෙන් උභයජීවී විශේෂවල වාසස්ථාන, ප්‍රජනන රටාවන් සහ ජීවත් වීමේ  හැකියාව කෙරෙහි ද බලපෑම් එල්ල වන බව මෙහිදී අවධාරණය කෙරිණි. 

වර්ෂාපතන රටාවන්හි වෙනස්වීම්, නියඟ තත්ත්වයන් සහ උෂ්ණත්වය ඉහළ යෑමෙන්  ගෙම්බන් ඇතුළු උභයජීවී විශේෂ රැසක් අවදානමට ලක්විය හැකි බවත්, එමගින් පරිසර පද්ධතිවල සමතුලිතතාවයට ද බලපෑම් ඇති විය හැකි බවත් සහභාගී වූ  නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්හ. 

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) නිලධාරීන්, පර්යේෂකයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන්  ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගී විය.

Share.
Leave A Reply

Exit mobile version