මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා වීසා නිකුත් කිරීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ගැන නීතිපති උපදෙස් ඉල්ලා තිබේ.
අදාළ තීන්දුව ප්‍රකාරව ගතහැකි සියලු ක්‍රියාමාර්ග මේවන විට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක මහතා පැවසුවේ ය.
තවදුරටත් පැහැදිලි කරගත යුතු කාරණා සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා සිටි බව ලේකම්වරයා සඳහන් කරන ලදී.
ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් ඉදිරි දිනක පැවැත්වීමට නියමිතව ඇති බව වියානි ගුණතිලක මහතා පැවසුවේ ය.
මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේය.
ඇති වී තිබෙන යම් යම් ගැටලු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් මගින් කරුණු වාර්තා කිරීමට සැලසුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
විද්‍යුත් වීසා සේවාවන් සැපයීමේ කටයුතු විදේශීය සමාගම් දෙකකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.
ඒ අනුව, පසුගිය 2 වැනිදා රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මාර්ගගත ක්‍රමය ඔස්සේ වීසා නිකුත් කිරිමේ කටයුතු අත්හිටු වූ අතර, මෙරටට පැමිණෙන සංචාරකයින්ට ගුවන්තොටුපොළේ දී නිකුත් කෙරෙන්නේ ON ARRIVAL වීසා පමණකි.
මේ අතර, දෛනිකව නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව සීමාකර තිබේ.
ඒ අනුව, විදෙස් ගමන් බලපත්‍ර 1000කට ආසන්න සංඛ්‍යාවක් පමණක් දෛනිකව නිකුත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ ය.
මාර්ගගත ක්‍රමයට දින හා කාලය වෙන්කරගත් පුද්ගලයින්ට පමණක් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කෙරෙන බව අමාත්‍යංශය සඳහන් කළේය.