පවතින අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයකදී පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීමටත්, ආපදා කළමණාකරන කටයුතුවලදී අදාළ වගකිව යුතු ආයතන වෙත පූර්ණ සහයෝගය ලබාදීමට ඕනෑම අවස්ථාවකදී සහභාගී වීම සඳහා භටපිරිස් සූදානම් කරන ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් 1 බලකායේ බලකාධිපති හා සියලුම ආරක්ෂක සේනා ආඥාපතිවරුන් වෙත දැනුම් දී ඇත.
ඒ අනුව, පසුගිය දිනවල ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් දියවන්නා ඔයේ ජල මට්ටම ඉහළ යාමෙන් පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ වැලිකොට්ට අතුරා ගං වතුර අවධානමෙන් මුදවාගැනීමට ශ්රී ලංකා යුද්ධ හමුදාවේ 18 ශ්රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් කටයුතු කරන ලදි.
එසේම, ජල මට්ටම ඉහළ යාම නිසා කැඩී යාමේ අවධානමකට ලක්වූ පන්නල ජයවඩන වැවේ වැව් බැම්ම වැලි කොට්ට යොදා ආරක්ෂා කිරීම සඳහා ශ්රී ලංකා යුද්ධ හමුදාවේ 9 ශ්රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් යොමුකරන ලදි.
කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්රදේශයෙන් පිටාර ගැලීමේ අවධානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට සහ කැළණිමුල්ල කොහිලවත්ත ප්රදේශයේ තවත් ඇළ මාර්ගයකට වැලි කොට්ට අතුරා ගංවතුර අවධානම අවම කිරීමට ශ්රී ලංකා යුද්ධ හමුදා හමුදවේ 2 ශ්රී ලංකා පාබල හමුදා භටපිරිස් යොමුකරන ලදි.