ඉන්දීය යුද්ධ හමුදාධිපති ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදිගේ ආරාධනයකට අනුව ඉන්දියාවේ නිල සංචාරයක යෙදුන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ, පෙරේදා (14 ) දින දෙහේරාදුන් හි පිහිටි ඉන්දියානු යුධ හමුදා විද්‍යාපීඨයේ (IMA) පැවති කෙඩෙට් නිලධාරීන් විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන ලදී.
1990 වර්ෂයේදී ඉන්දියානු යුධ හමුදා විද්‍යා පීඨයෙහි පාඨමාලා අංක 31 (IMA – 31) තුළින් අධිකාරියට පත් වූ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ හට මෙන්ම ඉන්දියානු යුධ හමුදා විද්‍යාපීඨයටත් මෙය ඉතා සුවිශේෂි අවස්ථාවක් වු අතර එහිදී ඔහුගේ සමකාලීනයකු වූ ඉන්දියානු යුධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක ලුතිනන් ජෙනරාල් නාගේන්ද්‍ර සිං විසින් යුද්ධ හමුදාධිපති උණුසුම් අයුරින් පිලිගනු ලැබිය.
මෙහිදී ඉන්දියානු යුධ හමුදා පුහුණු අණසක (ARTRAC) හි ආඥාපති ලුතිනන් ජෙනරාල් දේවේන්ද්‍ර ෂර්මා හමුවූ යුද්ධ හමුදාධිපති, යුගයේ අභියෝගවලට මුහුණ දීම සඳහා දෙරට අතර පුහුණු වැඩසටහන් යාවත්කාලීන කිරීම, පිලිබදව අදහස් හුවමාරු කර ගන්නා ලදී.
මීට අමතරව නවදිල්ලියේ පිහිටි ජාතික රණවිරු ස්මාරකය වෙත ගිය ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති මියගිය රණවිරුවන් වෙත සිය ආචාරය පිරිනමන ලදී.
මෙම සංචාරය අතරතුරදී ඉන්දීය ආරක්ෂක ලේකම් රාජේෂ් සිං, ඉන්දීය යුද්ධ හමුදාධිපති ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි, නාවික හමුදාධිපති අද්මිරාල් දිනේෂ් කේ ත්‍රිපාති, ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් අමර් ප්‍රීත් සිං, ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් රාජා සුබ්‍රමණි සහ ඉන්දීය දකුණු බටහිර විධානයේ ආඥාපති, ලුතිනන් ජෙනරාල් මන්ජින්දර් සිං හමුවූ යුද්ධ හමුදාධිපති, ඔවුන් සමග දෙරට අතර පවතින ද්විපාර්ශ්වික හා කලාපීය ආරක්ෂක කටයුතු ඇතුළු බොහෝ කරුණු පිළිබඳ සාකච්ඡා කරන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිගේ මෙම ඉන්දීය සංචාරය තුළින්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ආරක්ෂක සබඳතා තවදුරටත් වර්ධනය කල අතර ඒ සඳහා දෙරට අතර ඇති කැපවීම වඩාත් ශක්තිමත් කල සංචාරයක් විය.








