ශ්‍රී ලංකාවේ ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය වන ‘Canal-Top Solar’ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා වන මූලික ශක්‍යතා අධ්‍යයනය මහියංගනයේ වියානා ඇළ ආශ්‍රිතව සිදුකර තිබේ.
කිලෝමීටර් 20කට අධික දිගකින් යුතු පුළුල් ඇළ මාර්ගයක් වීම හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට විශාල පුනර්ජනනීය බලශක්ති ධාරිතාවක් එක් කිරීමට ඇති හැකියාව සහ වසරේ වැඩි කාලයක් පවතින ප්‍රශස්ත සූර්යාලෝකය සැලකිල්ලට ගනිමින් මෙම ව්‍යාපෘතිය සඳහා වියානා ඇළ තෝරාගෙන ඇත.
සූර්ය පැනල මගින් ඇළ මාර්ගය ආවරණය කිරීම හේතුවෙන් ජල වාෂ්පීභවනය පාලනය කිරීම, අධික උණුසුම් කාලගුණික තත්ත්වයන් යටතේ ජල උෂ්ණත්වය යෝග්‍ය මට්ටමක පවත්වා ගැනීම මෙන්ම හරිත හයිඩ්‍රජන් වැනි දියුණු බලශක්ති ව්‍යාපෘති සඳහා පදනමක් සකස් කිරීම ද මෙම ව්‍යාපෘතියේ විශේෂත්වයකි.
එමෙන්ම, ව්‍යාපෘතියට ආරක්ෂිත විදුලි අලි වැටක් ද ඇතුළත් වන බැවින් වන අලින් ඇළට වැටීමේ අවදානම අවම කිරීමට ද හැකියාව පවතී.
ඒ අනුව, මෙම ව්‍යාපෘතිය ජලය ප්‍රවාහනය කරන ඇළ මාර්ගයක් පමණක් නොව, පිරිසිදු විදුලිය නිපදවන, ජල සම්පත් සහ වන අලි සංරක්ෂණයට දායක වන, ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ප්‍රතිපත්තියට නව දිශානතියක් ලබාදෙන ජාතික මට්ටමේ ආදර්ශමත් සංවර්ධන ව්‍යාපෘතියක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඊට අදාළ විශේෂ ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවක් සහ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් පෙරේදා (20) මහියංගනයේදී පැවැත්විණි.
එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල සහ මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී අලහකෝන් යන මහත්වරු සහභාගී වූහ.
මීට අමතරව, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර, අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු රෝහණ රම්බොඩගේ, ලංකා විදුලි බෙදාහැරීමේ සමාගමේ සැලසුම් ඉංජිනේරු අසිත අත්තනායක යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.


