බස්නාහිර පළාතේ පවතින රෝහල් රැසක ඩෙංගු රෝගීන්ගේ උපරිම ධාරිතාවයට පැමිණ ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.
එහි වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කළේ රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනය හේතුවෙන් ඔවුන් රැක බලා ගැනීමේ කටයුතු ද දැඩි අසීරුතාවයකට හා අවදානමකට ලක්ව ඇති බවය.
රෝගීන් වාර්තා වීම මෙලෙස ඉහළ යාම හේතුවෙන් ඊට සමානුපාතිකව ඉදිරියේදී මරණ සංඛ්‍යාව ද ඉහළ යා හැකි බව ඔහු වැඩිදුරටත් අනතුරු අඟවා සිටී.
වෛද්‍ය කපිල කන්නංගර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ දැනට දිවයිනෙන් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් 59,638 දෙනාගෙන් 52.4%ක්ම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන බවය.
මේ හේතුවෙන් බස්නාහිර පළාත තුළ වැඩිම රෝගී ප්‍රතිශතයක් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 22ක් තෝරාගෙන එම ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සතියක් පුරා ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
එම සතිය අවසානයේදී එහි ප්‍රගතිය සමාලෝචනය බවත් ඒ අනුව මෙම වැඩසටහන ඉදිරියට ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන වශයෙන් කොටස් තුනක සැලසුමක් සකස් කර ඇති බව ද අධ්‍යක්ෂවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ඩෙංගු රෝගීන්ගේ වර්ධනය ඉතාමත් බරපතළ මට්ටමක පවතින බැවින් සහ රෝහල් විශාල සංඛ්‍යාවක් උපරිම ධාරිතාවට පැමිණ රෝහල් පද්ධතියට දැඩි බලපෑමක් එල්ල වී ඇති බැවින්, මේ මොහොතේදී කෙටිකාලීන හදිසි (Emergency) පියවරයන් ක්‍රියාවට නැංවීමට මූලිකත්වය දී ඇති බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා,
“දැනට වාර්තා වෙන රෝගීන් 59,638න් 52.4%ක් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන්. ඒ නිසා බස්නාහිර පළාතේ දිස්ත්‍රික් තුනේ තියෙන වැඩිම රෝග ප්‍රතිශතය තිබෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 22ක් අපි තෝරගෙන, ඒ තුළ මේ ක්‍රියාදාමය දිගටම අපි සතියක් පුරා ක්‍රියාත්මක වෙනවා. ඒ සතිය අවසානයේදී නැවත වරක් අපි ඒ ප්‍රගතිය විමසා බලලා තව ඉදිරියටත් ඒක දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. සැලසුම් කරලා තියෙන්නේ කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන කියලා අපි කොටස් තුනකට කඩලා. දැන් මොකද මේ අවස්ථාවේදී කෙටිකාලීන කියලා අපි කියන්නේ මේක ඉමර්ජන්සි (Emergency) තත්ත්වයක් නිසා. මොකද මේ වැඩිවීම ඉතාමත් බරපතළයි. මොකද මේ තුළින් රෝහල් පද්ධතියට විශාල බලපෑමක් වෙලා තියෙනවා. උපරිම ධාරිතාවට දැන් ගිහිල්ලා තියෙනවා විශාල ප්‍රමාණයක් රෝහල්. එතකොට මේ තුළදී රෝගීන් රැකබලා ගැනීම ලොකු අවදානමකට පත්වෙලා තිබෙනවා. මේ රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනවා කියන්නේ ඊට සමානුපාතිකව මරණ සංඛ්‍යාවත් වැඩිවීමට හේතුවක් වෙනවා.”


