ශ්‍රී ලංකාවේ ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස දන්වමින් ඊශ්‍රායලය විසින් සිය පුරවැසියන් ට නිකුත් කර තිබූ සංචාරක සීමාවන් ලිහිල් කිරීමට ඊශ්‍රායලය කටයුතු කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එරට ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් එම අනතුරු ඇඟවීමේ මට්ටම හතරේ සිට දෙක දක්වා අඩු කර ඇති බවය.
ආරුගම්බේ ප්‍රදේශය ට නැවත දැනුම්දෙන තුරු යෑමෙන් වළකින ලෙස සිය ඊශ්‍රායලය විසින් එරට පුරවැසියන්ට පසුගිය ඔක්තෝබර් 23 වනදා අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පසුගිය 23 වනදා පැවසුවේ, ආරුගම්බේ සහ පොතුවිල් ප්‍රදේශවල ඊශ්‍රායල ජාතිකයින් සර්ෆින් ක්‍රීඩාව නිසා වැඩිපුර ගැවසෙන බවත් ඔවුන්ට යම් අනතුරක් සිදුවිය හැකි බවත් පසුගිය දිනවල තොරතුරු ලැබී තිබූ බවත් ය.
පසුගියදා රජය නිවේදනය කළේ එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් සිටින බවත් ය.
සැකකරුවන් අතර මාලදිවයින් ජාතිකයෙක් ද වෙයි.