ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු වන අර්ජුන් ජෝශප් ඇලෝසියස් සහ ඒ.ආර්.දිනේන්ද්‍ර රුපියල් මිලියන 15ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්.එල්. ඉලංගසිංහ ඊයේ නියෝග කළේය.

ඒ, රජයට ගෙවිය යුතු රුපියල් 1,678,795,049.00 ක බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගොනු කළ නඩුවකට අදාළවයි.

ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගමේ තවත් අධ්‍යක්ෂවරයෙකුට මීළඟ කැඳවන දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කළේය.

ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සහ සමාගමට එරෙහිව රජයට ගෙවිය යුතු බදු රුපියල් බිලියන 6කට වඩා වංචා කිරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් තවත් නඩු දෙකක් පවරා තිබුණි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගොනු කළ නඩුවේ සඳහන් වූයේ වැලිසර මීගමුව පාරේ අංක 309/5 දරන ස්ථානයේ පිහිටි සීමාසහිත ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සහ සමාගම බදු ගෙවීම පැහැර හැර ඇති බවයි.

වගඋත්තරකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න මහේස්ත්‍රාත්වරයාට දන්වා සිටියේ හිඟ බදු ගෙවීමේ සහතිකය මත බලපත්‍රය අගෝස්තු 22 වැනිදා ලැබුණු බවයි. එම බදු මුදල කඩිනමින් පියවීමට අවශ්‍ය පියවර ගන්නා බවද ජනාධිපති නීතීඥවරයා සඳහන් කළේය.

මේ අනුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැහැර හරින ලද බදු මුදල ගෙවන්නේ කෙසේදැයි පැමිණිල්ල සමඟ සාකච්ඡා කර මීළඟ නඩු දිනයේදී අධිකරණයට දන්වන ලෙස මහේස්ත්‍රාත්වරයා වගඋත්තරකාර පාර්ශවයට දැනුම් දුන්නේය. වැඩිදුර විමර්ශන ඔක්‌තෝබර් 3 වැනිදාට මහෙස්‌ත්‍රාත්වරයා නියම කළේය.

Share.
Leave A Reply

Exit mobile version