හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල පතන මංසන්ධිය ආසන්නයේ නායගිය ස්ථානයට ඉහළින් ඇති යූකැලිප්ටස් ගස් කිහිපයක් කඩා වැටීමේ අවදානමක් හේතුවෙන් එම ස්ථානයේ රථවාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර තිබේ.
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ඊයේ (14) දින සිට මෙම පියවර ගෙන ඇත්තේ ප්‍රධාන මාර්ගයට හානි සිදුවීමේ අවදානම සැලකිල්ලට ගනිමින්ය.
නායගිය ස්ථානයේ කඳු මුදුනේ ඇති යූකැලිප්ටස් ගස් කිහිපයක මුල් මතු වී ඇති අතර, මේ දිනවල ප්‍රදේශයට බලපා ඇති දැඩි සුළං සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම ගස් මාර්ගයට කඩා වැටීමේ අවදානමක් පවතින බව ප්‍රදේශවාසීන් පවසයි.
අදාළ අවදානම් සහිත ගස් ඉවත් කරන ලෙස ආපදා කළමනාකරණ ඒකකයට දැනුම් දී ඇතත්, මෙතෙක් ඊට ස්ථිර විසඳුමක් ලැබී නොමැති බව මගී ජනතාව සඳහන් කරයි.
ගස් කඩා වැටීමක් සිදුවුවහොත් මාර්ගයේ ගමන් ගන්නා මගීන්ට සහ රථවාහනවලට දැඩි හානි සිදුවීමේ අවදානමක් පවතින බවද ප්‍රදේශවාසීහු වැඩිදුරටත් පවසති.
