අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සිය උපවාසය අත්නොහරින බවට යළිත් අවධාරණය කර තිබේ. 

තමන් යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් කුටිය වෙත පැමිණීමට අකමැති බවත් මරණය ඊට වඩා සුදුසු බවත් සුරේෂ් සලේ මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. 

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සුරේෂ් සලේ මහතා බැලීම සඳහා ඔහුගේ පෞද්ගලික නිතීඥවරයා ගිය අවස්ථාවේ මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශන කටයුතු පිළිබඳව මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය, අස්ගිරි පාර්ශ්වයේ නාහිමි විසින් ජනාධිපතිවරයාට සිදුකර ඇති ඉල්ලීම පිළිබදව මෙහිදි නීතීඥවරයා විසින් සුරේෂ් සලේ මහතා දැනුම්වත් කර තිබේ.

ඒ අනුව දැනට සිදුකරන උපවාසය නතර කරන ලෙස නීතිඥවරයා සුරේෂ් සලේ මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. 

තමන් නැවත අදාළ රැඳවුම් කුටියට පැමිණීමට අකමැති බවත් එම ස්ථානය නිරයක් බවත් ප්‍රකාශ කර ඇති සුරේෂ් සලේ මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා තමන් සමග පෞද්ගලික වෛරයක් පවතින බව ද ප්‍රකාශ කර තිබේ.

එම නිස සිය උපවාසය අත්නොහරින බව සුරේෂ් සලේ මහතා නීතීඥවරයාට දැනුම් දී ඇත.

මේ අතර පසුගියදා සුරේෂ් සලේ මහතා  ප්‍රසිද්ධියේ පරීක්ෂාවට ලක්කළ බව කියන දිනයේ වීඩියෝ දර්ශන නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

මාසයකට පෙර වීඩියෝ දර්ශන පමණක් දත්ත ගබඩාවේ පවතින බැවින් මාර්තු 8 වන දින සිදුකළ පරීක්ෂාවේ දර්ශන නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව අදාළ දර්ශන ලබාගැනීම සඳහා වෙනත් පාර්ශ්වයකින් පරිගණක සහාය ලබාගැනීමට  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ. 

සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තවත් වාර්තා කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති අතර එම වාර්තා ලබන 26 වන දිනට පෙර ලබාදෙන ලෙස ද දැනුම් දී  ඇති බව වාර්තා වේ.

Share.
Leave A Reply

Exit mobile version