2025 අප්‍රේල් මස 18 වන දින සිට ආරම්භ කිරීමට නියමිත සිරි දළදා වන්දනා පුණ්‍යෝත්සවය සඳහා වන මූලික කටයුතු මේ වන විට මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය තුලදී සම්පාදනය කරමින් පවතී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝගේ පූර්ණ අධීක්ෂණය සහ මගපෙන්වීම යටතේ යුද්ධ හමුදා භට පිරිස් හි තාක්ෂණික සහාය සහ ශ්‍රම දායකත්වයෙන් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැදපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්හට අවශ්‍ය විවිධ වූ පහසුකම් සුදානම් කරමින් පවතී.
ඒ අතර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු, බැතිමතුන් හට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සහ ක්‍රමානුකූලව බැතිමතුන් මාලිගා පරිශ්‍රය වෙත යොමු කිරීම සඳහා අවශ්‍ය ප්‍රවේශ මාර්ග පිළියෙළ කිරීම ප්‍රමුඛ වේ. 2025 අප්‍රේල් 12 දින වන විට සනීපාරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය ජංගම සහ ක්ෂේත්‍ර වැසිකිලි 135කට ආසන්න ප්‍රමාණයක් දළදා මාලිගය පරිශ්‍රයේ ඉදිකර ඇති අතර ගමන් මලු පර්යන්ත 5ක්, වැසි ආවරණ, ආබාධිත බැතිමතුන් සඳහා අවශ්‍ය පියගැට පෙළ සහිත ප්‍රවේශ මාර්ගයන් යුද්ධ හමුදා තාක්ෂණික දායකත්වය මත මේ වන විටත් නිම කර ඇත. තවද ඉදිරියේදී පැවැත්වීමට නියමිත දන්සැල් සඳහා අවශ්‍ය ලී මේස 100කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට නිර්මාණය කර ඇත.
මේ අතර, සිරි දළදා වන්දනාව සඳහා බැතිමතුන්ගේ පැමිණීම 2025 අප්‍රේල් මස 17 වන දින සිට අපේක්ෂා කරන අතර ඒ සඳහා අවශ්‍ය සියලුම ආරක්ෂක විධිවිධාන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මේ වන විට සම්පාදනය කර ඇත.