උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස දීර්ඝ කිරීමට අදාළ යෝජනාව මේ වසර අවසන් වීමට පෙර ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා පවසයි.
එවැනි සංශෝධනයක් සිදුකිරීම සඳහා මෙතෙක් කිසිදු පාර්ශවයකින් ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති පසුබිමක, ආණ්ඩුව ගෙන යන මෙම වැඩපිළිවෙළ පිටුපස බරපතළ ගැටලුවක් පවතින බව මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.
මෙවැනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට හේතුව හෝ එහි පදනම කුමක්ද යන්න අද වනතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවත්, කිසිදු පාර්ලිමේන්තු කමිටුවක මේ පිළිබඳව සාකච්ඡා වී නොමැති බවත් ඔහු මෙහිදී අනාවරණය කළේය.
කිසිවෙකුත් ඉල්ලා නොමැති මෙවැනි යෝජනාවක් පිටුපස සැඟවුණු දේශපාලන අරමුණක් පවතින බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, පෞද්ගලික මට්ටමේ කමිටුවක් හරහා සකස් කරන ලද කෙටුම්පතක් මේ වන විට තමන් වෙත ලැබී ඇති බවද පැවසීය.
එහිදී අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා,
”ලංකාවේ උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස වැඩි කරන්න කියලා අග්‍රවිනිශ්චයකාරතුමා ඉල්ලලා නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු, අභියාචනාධිකරණ විනිශ්චයකාරවරු ඉල්ලීමක් කරලා නැහැ. ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලලා නැහැ. ඒ වගේම මහාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සංගමය විරුද්ධයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය විරුද්ධයි. ඒ වගේම පාර්ලිමේන්තුවේ කවදාක්වත් කවුරුවක්වත් අද වෙනකන් ඇයි මෙහෙම සංශෝධනයක් අරන් එන්නේ, මෙහෙම සංශෝධනයක් කිරීමේ පදනම කියලා ඉදිරිපත් කරලා නැහැ. ඒ වගේම පාර්ලිමේන්තුවේ කිසිම කමිටුවක මේ අදහස සාකච්ඡාවට ලක් වෙලා නැහැ. එහෙනම් කවුද මෙහෙම යෝජනාවක් අරන් එන්නේ? කවුරුත් නැහැ. ඒ කියන්නේ සැඟවුණු අරමුණක් මේකේ තියෙනවා. පෞද්ගලික මට්ටමේ කමිටුවක් හරහා සකස් කරපු කෙටුම්පත අපිට ලැබිලා තියෙනවා. ආණ්ඩුව අනිවාර්යයෙන්ම මේක කරනවා. එහෙම කරන්නේ අධිකරණයේ බලතුලනය.. තමන්ගේ දේශපාලන අවශ්‍යතාවයන්වලට ගළපා ගැනීම උදෙසා කියන කාරණය අපි දැන් නිශ්චිත වශයෙන්ම දන්නවා. දෙසැම්බර් මාසේ මුල් සතිය වෙනකොට මේක සංශෝධනය සම්මත කරගන්න ඕන කියලා ඉලක්කයකුත් තියෙනවා. ඒ නිසා මේක හරි ගුප්ත බවක් තියෙනවා.”
කෙසේවෙතත් අදාළ යෝජනාව සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පළකළේ මෙවන් අදහසක්,
“ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට තියෙනවා වගකීමක් මේ රටේ ශක්තිමත් රාජ්‍ය සේවයක් ගොඩනගන්න. ඒකට අපට වෘත්තිකයන් අවශ්‍යයි. අධිකරණ ක්ෂේත්‍රයට පළපුරුදු වෘත්තිකයන් අවශ්‍යයි. ඔවුන්ගේ අත්දැකීම් අවශ්‍යයි. ඒ නිසා තමයි දැන් වෘත්තීය ක්ෂේත්‍ර වලින් යෝජනාවක් ඇවිල්ලා තියෙන්නේ, සමහර රටට වැදගත් වෘත්තීය ක්ෂේත්‍ර වල විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව වෙනස් කරලා, ඒ වෘත්තිකයන්ගෙන් තව රටට වැඩක් ගන්න. මොකද එකපාරට අපිට අවුරුද්දෙන් දෙකෙන් ප්‍රබල වෘත්තිකයන් නිර්මාණය කරගන්න බෑ. අන්න ඒ නිසා තමයි විවිධ වෘත්තිකයන් අද ඉල්ලීම් කරමින් තියෙන්නේ අධිකරණ පද්ධතියේ, වෙනත් වෘත්තීන් වල ඒ විශ්‍රාම යන වයස් සීමාව, ඒ 60 වයස් සීමාව, 62 වයස් සීමාව ඒවා සංශෝධනය කරලා ඒ වෘත්තිකයන්ගෙන් තව වැඩ ගන්න කියන ඒ ඉල්ලීම තියෙන්නේ අන්න ඒක ඇතුලේ තමයි. අධිකරණ ක්ෂේත්‍රයේ වයස් සීමාව විනිසුරුවරුන්ගේ වැඩිකිරීම පිළිබඳ එහෙම අවසන් තීරණයක් රජය තවම අරගෙන නෑ. නමුත් ඒ පිළිබඳව විවිධ පාර්ශවයන්ගෙන් ඉල්ලීම් තියෙනවා. ඉතින් දැන් ආණ්ඩුව ඒ ඉල්ලීම් පිළිබඳ අවධානය යොමු කරනවා. නමුත් තාම අවසන් තීරණයක් අරගෙන නෑ.”
