ඩුබායි බලා පිටත්ව යෑම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි විශ්‍රාමික ගුවන් හමුදා සෙබළියකගේ අත්බෑගය තුළ තිබී ටී – 56 උණ්ඩයක් සොයාගැනීමට ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සමත් විය.

ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ගමන් මලු ස්කෑන් යන්ත්‍ර භාවිතයෙන් පරීක්ෂා කිරීමේදී එය සොයාගෙන ඇත.

උණ්ඩය තිබූ බෑගය හිමි කාන්තාව කුරුණෑගල, නිකදළුපොත, හිරිපිටිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි විශ්‍රාමික ගුවන් හමුදා සෙබළියකි.

ඇය ඩුබායි හි වාසය කරන සිය සහෝදරිය හමුවීමට යෑම සඳහා ඊයේ (31) පස්වරුවේ ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි. 

ඇය විමර්ශන නිලධාරීන් ට ප්‍රකාශ කර ඇත්තේ මෙම උණ්ඩය තම අත්බෑගය තුළට පැමිණි ආකාරය පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති බවයි.

කෙසේ නමුත් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇයව කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය වෙත භාර දී ඇත.

Share.
Leave A Reply

Exit mobile version